Thursday, July 30, 2020

සීගිරිය - ඔබ නොදකින චිත්‍රය

රංජිත් ආරියරත්න  2020 ජුලි 30 

 

මම ඉතිහාසඥයකු හෝ පුරාවිද්‍යාඥයකු නොවනා අතර වෘත්තියෙන් කෘෂි ජල  කළමනාකරණ ඉංජිනේරුවෙකි. නිදහස් අදහස් දැරීමට සහ ප්‍රකාශකිරීමට ඔබට සහ මට ඇති අයිතිය මත මෙය ඉදිරිපත්කරනා අතර මෙම මතයට එකගවීම / නොවීමට හෝ  විරුද්ධ මත දැරීමට සහ ඒවා ප්‍රකාශකිරීම මගින් වඩාත් විද්‍යාත්මක සංවාදයක පිවිසිය හැක. එබැවින් අවධානයෙන් කියවා බලන මෙන්ම ඔබගේ මතය ද සටහන් කරනා මෙන් ඉල්ලා සිටිමි.

 

පසුබිම

1990 දශකයේ මැද භාගයේ මම ලෙනදොර සිට හුරුළු වැව දක්වා ජලය සපයන හුරුළු වැව පෝෂිත ඇළ ආශ්‍රිත ජලවිද්‍යා පර්යේෂණ කටයුතුවල නිරත වි සිටියෙමි. ලෙනදොරින් මහවැලි ජලය තත්පරයට ඝණ අඩි  150 ක් හුරුළු වැවට නිකුත්කලත් එක ජල බිදුවක් හුරුළු වලට නොලැබීම එයට හේතුවයි. ලෙනදොර සිට පොල්ඇත්තාව දක්වා මහවැලියෙන්සාදන ලද හුරුළු පෝෂිත ඇල පැවති අතර ඉන් පසු එම ජලය ස්වභාවික ජල මාර්ගයක් වූ “යාන් ඔය”  ආරම්භයට (“සීගිරි ඔය”ලෙස මෙය හදුන්වයි )   මුදාහරි. මෙම ජලය යාන් ඔය ඉහල කොටසේ ඇති “පහල තල්කොටේ වැව”, “හිරිවඩුන්න වැව” සහ “හබරණ වැව” හරහා හුරුළු වැවට යා යුතු නමුත් එම කාලයේ තත්පරයට ඝණ අඩි  10 ක ජල ප්‍රමාණයක් වත් පහල තල්කොටේ වැවට ලගා නොවේ. එම කාලයේ හුරුළු පෝෂිත ඇල දෙපස අනවසර වගා කරුවන් දහසක් පමණ වගා කල අතර ඔවුන් අනවසරයෙන් එම ජලය වගා කටයුතු සදහා යොදා ගත්හ. මෙම ජල භාවිතය මැනීම සදහා ජල මාපක සවිකර තිබු අතර මිනුම් කටයුතු සදහා සටහන් කරුවන් යොදවා තිබුණි. පහල තල්කොටේ වැව සිට පොල් අත්තාව දක්වා කොටස සීගිරි සංරක්ෂණ ව්‍යාපෘතියට අයත්ව තිබු අතර අද මෙන් එලිපෙහෙලිවී පාරවල් පවා නොතිබුණි. පහල තල්කොටේ ගම ද කැළයෙන් වටවූ නිතර වන අලින් ගැවසෙන හුදකලා ගමක් විය. ක්‍ෂේත්‍ර නිරීක්ෂණය සහ සටහන්කරුවන් පරික්‍ෂාව සදහා සතියකට දෙවරක් තුන්වරක් මෙම ප්‍රදේශයේ සැරිසැරීමට මම පුරුදු වී සිටියෙමි. යාන් ඔය සිගිරි පාලම අසල ජල මිනුම් ස්ථානයක් ස්ථාපනය කර තිබු බැවින් සීගිරි සංරක්ෂණ ව්‍යාපෘති කොටසට ඇතුළුවීමට අපට අවසර ලබා දී තිබු අතර ව්‍යාපෘති නිලධාරීන් සමග බොහෝ විට සාකච්ඡා කිරීමේ අවස්ථාව ලැබිණි. සවස් කාලයේ 4 – 5 පමණ වනවිට ඉතා සෞම්‍ය පරිසරයක් මෙහි මැවෙනා බැවින් සීගිරි ගල දෙස බලා සිටීමට මම ප්‍රිය කලෙමි. පෙර දවස සීගිරිය කෙලෙස පැවතියේ දැයි කුතුහලය මා තුල නිරන්තරයෙන් විය.

          සීගිරි ව්‍යාපෘති නිළධාරීන් ද වෙහෙස කරවූ දවසේ වැඩ නිමවා නිදහසේ සිටීම සහ වෙනම කෙෂත්‍රයක පිරිසක් වූ අප සමග අදහස් හුවමාරු කරගැනීමට සහ ඒකාකාරී බවෙන් මිදී සිටීමට  ඉතා කැමැත්තක් දැක්විය.  

කැලයෙන් සහ පස් වලින් යටව තිබු එම නටඹුන්  ශේෂයන් මතුකර ගැනීම සදහා සමහර ස්ථාන අඩි 15 – 20 පමණ ගැඹුරට කැණීම් කරණු දිස්විය. එම කාලය වන විට බොහෝ කැනීම් සිදුවෙමින් තිබු අතර පිටත දිය අගල පාදා ගැනීම් සිදුවෙමින් තිබුණි.

          මතුපිට ගස් පදුරු සහ භුමිය හැර වෙන කිසිත් සලකුණක් නොමැති විට මෙම කැණීම් සදහා පාදක කරගන්නා ක්‍රමවේදය විමසුවෙමි.  එය බොහෝ විට පැරණි ලේඛණ සහ ජනප්‍රවාදයෙන් පැවත එන ජනශ්‍රති තොරතුරු මුලික කරගන්නා බව පැවසුහ.  මේ ස්ථානය පිළිබද වැඩි විස්තර නොවේ නම් ක්‍රමවත් ලෙස මතුපිට පස් තට්ටු ඉවත් කරමින් නටඹුන්  කොටස් මතුකරගන්නා බවත්, එම මතුවන කොටස් පිහිටි ආකාරය සහ විසිර ඇති ආකාරය එලෙසම ජයාරූප ගත කරණු ලබන අතර අංකනය කර සටහන් තබනු ලබයි. ඉන් පසු ඒවායේ හැඩය සහ පිහිටීම අනුව එහි පැවති නිර්මාණය පිළිබද දළ අදහසක්  ඇතිකරගන්නා අතර එතරම් කැඩී බිදී විසිරි ගොස් නැතිනම් ඒවා හමුවූ ස්ථානයේම එකිනෙක ගලපා එකලස් කර ස්ථාපනය කරණු ලබයි. විසිරීම බොහෝ දුරට සිදුවී ඇති විට නටඹුන්  කොටස්  එක් ස්ථානයකට රැස් කර එකලස් කර බැලීම  කරණු ලබයි.  එදා අද මෙන් තාක්‍ෂණය දියුණු නොමැති නිසා මෙම ගැලපීම් මිනිස් ශ්‍රමය මගින් එකින් එක එකතු කිරීමෙන් කරනුලබයි. නමුත් අද මෙම නටඹුන්  කොටස් ඩිජිටල් ජයාරූප ගත කිරීමෙන් කොම්පියුටරයක් මගින් එම ජයාරූප කොටස් ඒ මේ අත හරවා කරකවා බැලීමෙන් පහසුවෙන් එකලස් කිරීම කරනු ලබයි.

 සිගිරිය පිළිබද මා තුල වූ කුතුහලය නිසාම ඒ පිළිබද තවදුරටත් කරුණු සෙවීමටත්, 1978 අග භාගයේ හටගත් සුළිසුලං ඇතිවීමට සතියකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාල කෘෂි විද්‍යා පීඨයේ මහඉලුප්පල්ලම ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයේ සිට මිතුරන් සමග දඹුලු විහාරයට ගොස් අවට පරිසරය නරඹමින් දිනක් පුරාවට එහි ගතකර, සුළිසුලං ඇතිවීමෙන් පසු මාර්ගය හෙළිපෙහෙළි වූ වහාම මහඉලුප්පල්ලම සිට ගෙදර යාමට දඹුල්ල පසුකරන විට දුටු දඹුලු ගලේ දර්ශනයත් මා සිතේ තදින්ම  සටහන්ව තිබුණි.

 

සිගිරිය පිළිබද මා සිතේ පහත ප්‍රශ්න පැන නැගුණි.

1.    සිගිරි මාලිගාව තැනීමට කාශ්‍යප රජු ගල තරණය කලේ කෙසේද?

2.    එතරම් සුවිසල් මාළිගාවක් තැනීමට ඇවසි ද්‍රව්‍ය රැගෙන සේවකයන් ලගාවුයේ කෙසේද?

3.    ලොව පරසිදු සිගිරි බිතුසිතුවම් ඇති කොටස් වලට එම කාලයේ ලගවුයේ කෙසේද?

4.    කැටපත් පවුර මෙන් ආරක්‍ෂිත පටු මාර්ග කොටස් තව තිබුනේද?

5.    සිංහ පාදය ප්‍රදාන ඇතුළු වීමේ දොරටුව නම් ඉන් පසු ගල මතට පිවිසීමේ මග කුමක්ද?

6.    පෙර රජ දවස සිගිරිය ගල සහ එහි අවට පරිසරය කෙලස තිබෙන්නට ඇතිද?

7.    පසේ මෙතරම් ගැඹුරකට නටඹුන්  කොටස් යටවුයේ කෙලෙසද? 

 

සීගිරි ඉතිහාසය

 

          පාසල් අවදියේ මෙන්ම පතපොත ඇසුරෙන්ද ඔබ උගත් සීගිරිය හා සබැදි  තොරතුරු , අද අන්තර්ජාලයෙන් විවිධ මානයන් ඇසුරෙන් කියවිය හැකිය. එම නිසා ඒ සම්බන්දයෙන් කිසිවක් මෙහි නැවත සදහන් කිරීම අනවශ්‍යයයි හැගේ. මගේ මුලික අවධානය යොමු වන්නේ සීගිරි ගල සම්බන්දවය. දැනට දක්වා ඇති පුරාවිද්‍යා තොරතුරු වලට අනුව සීගිරිය ගල අවටින් ක්‍රිස්තු පුර්ව පළමු සියවසට අයත් සාධක ද ලැබී ඇති බවත් ඒවා බොහොමයක් පන්සල් / ආශ්‍රම ආශ්‍රිත සාධක බවත් සදහන් වේ.

          විදේශීය ද්‍රවිඩ ආක්‍රමණයන් අනුරාධපුර රාජධානිය විටින්විට ග්‍රහණයට ගැනීම රටේ ජන ජීවිතය අස්ථාවර කිරීමට හේතුවිය. ක්‍රිස්තු පුර්ව 250 දී පමණ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මිහිදු මාහිමියන් වැඩීමෙන් ලංකාවේ බුදුසසුණ ආරම්භ වීම සමග රට පුරා වෙහෙර විහාරස්ථාන ඉදිවිය. රජ්‍ය පාලනයේ ප්‍රමුඛ ස්ථානයක් බුදුසසුණට හිමිවීම නිසා ආක්‍රමිකයන් ගේ ප්‍රධාන ඉලක්කයක් ලෙස වෙහෙර විහාරස්ථාන සැමවිටම බදුන්විය. ද්‍රවිඩ ආක්‍රමිකයන් සැම දෙනාම ශිව භක්තිකයන් වීම වෙහෙර විහාරස්ථාන වැනසීමට තවත් හේතුවක් විය. මේ නිසා ද්‍රවිඩ ආක්‍රමනයක් වන සෑම අවස්ථාවකම  බුදුසසුණ ආරක්ෂා කරගැනීමේ අරමුණින්  විහාරවාසී භික්ෂුන් වහන්සේ දහම් පුස්තක සහ විහාරය සතු ධාතුන් වහන්සේ සහිත වටිනා පූජා භාණ්ඩ රැගෙන වනගතවීම නිරන්තරයෙන් සිදුවිය. ඝන වනාන්තරයේ ස්වභාවික ගල් ලෙන් බොහෝවිට මෙම වනගත භික්ෂුන් වහන්සේගේ ආරාමයන් බවට පත්විය.

          වළගම්බාහු රජතුමා පළමුවෙන් රජකම ලබාගන්නේ ක්‍රිස්තු පුර්ව 104 දිය. රජවී වසරක් ගතවීමට ප්‍රථම දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණයක් නිසා රජකම අත්හැර පලායාමට එතුමාට සිදුවේ. පිළිවලින් පුලහත්ථ, බාගිය, පනයමාර, පිළියමාර, දායික යන පංච ද්‍රවිඩයන් පුරා වසර 14ක් තිස්සේ පන්සල් වෙහෙර විහාර විනාශ කරමින් දේපල වස්තු කොල්ලකෑහ. භික්ෂුන් වහන්සේ බුදුසසුණ ආරක්ෂා කරගැනීමේ අරමුණින් සුපුරුදු ලෙස වනගත වන්නට ඇත. මේ වනවිට සීගිරිය හා පිදුරංගල මහ වනයෙන් වැසීගත් සාමාන්‍ය කදු වැටියක් ලෙස පවතිනට ඇත. සීගිරිය මතුපිට ගල් තැනිතලාවක් සහ කන්දේ සමහර පැතිබෑවුම්  ස්ථාන වලින් ගල එලියට නෙරා විත් ගුහා සැදී තිබෙන්නෙට ඇත. සාමාන්‍යයෙන් පවතින කදු ගැටයක් ලෙස අද පවතින සීගිරිය ගල දෙපස පසෙන් වැසී මහා වනයක් පවතිනට ඇත. සාමාන්‍ය කන්දක් නගිනා ආකාරයට කදු මුදුනේ වූ ගල්තලාවට පහසුවෙන් පිවිසීමේ හැකියාව තිබෙන්නට ඇත. මුදුනේ සිට බැලූ විට සතර වටේම හොදින් දර්ශනය වනබැවින් සතුරන් ගෙන් ආරක්‍ෂාවීමටත් යම් දිශාවකින් පැමිණන විට අනෙක් පසින් බැස වනය තුල සැගවිමටත් පහසු වීම නිසා වනගත භික්ෂුන් මෙම ස්ථානය මෙන්ම ආසන්නයේ පිහිටි පිදුරංගල කදුගැටය ද මෙලෙසම භික්ෂු ආශ්‍රම ලෙස මෙම කාලයේ පවත්වාගෙන යන්නට ඇත.  වසර 14කට පසු  වළගම්බාහු රජතුමා දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයින් පළවාහැර රට යථාතත්වයට පත්කිරීම නිසා වනගත වූ  භික්ෂුන් නැවත නාගරික සහ ග්‍රාමීය ජනාවාස වල පිහිටි විහාරස්ථාන වලට වැඩම කරන්නට ඇත.  මෙම සිදුවීම ක්‍රිස්තු පුර්ව පළමු සියවසේ සිදුවීම නිසා ඉන් පසු කාශ්‍යප රජ සමය තෙක් නටඹුන්  ශේෂ සිගිරිය අවටින් හමු නොවීම පැහැදිළි කලහැක.  

          ඉන්පසු වැදගත් කාල වකවානුව වන්නේ  ෂඩ් ද්‍රවිඩ පාලන සමය ලෙස හදුන්වන පාණ්ඩ්‍ය (ද්‍රවිඩ) ආක්‍රමණිකයින් ක්‍රිස්තු වර්ෂ 0436  සිට 0463 දක්වා වසර 27ක් පුරාවට අනුරාධපුර මුල්කොට ගෙනගිය පාලනයයි. මෙම පාලනය අවසන් කිරීමට ධාතුසේන රජතුමාට හැකිවූ අතර එතුමා ක්‍රිස්තු වර්ෂ 0463 සිට 0479 දක්වා වූ වර්ෂ 16ක් රට පාලනය කළේය. ධාතුසේන රජතුමාගේ බොහෝ ක්‍රියාකාරකම් අනුරාධපුරයට දකුණු දෙසින් වූ කලාවැව, අවුකන, රැස්වෙහෙර, දඹුල්ල වැනි ප්‍රදේශ වල දැකිය හැකිය.  ඊළග රාජ්‍ය උරුමක්කාරයා පිළිබද ප්‍රශ්නයක් මත ධාතුසේන රජතුමාගේ සුළු බිසවකගේ පුතෙකු වූ කාශ්‍යප කුමාරයා විසින් ධාතුසේන රජතුමා මරා රජකම පැහැර ගන්නා ලදී. රජ කිරුළේ නියම හිමිකරු වූ මුගලන් කුමරු ජීවිත ආරක්‍ෂාව පතා ඉන්දියාවට පලාගොස් එහි සිට සේනා සංවිධානය කරමින් අර්ධ සහෝදරයා වූ කාශ්‍යප රජුට එරෙහිව කටයුතු කළේය. මේ නිසා කාශ්‍යප රජු වඩාත් ආරක්‍ෂක ස්ථානයක් සෙවූ අතර පිදුරංගල ආසන්නයේ ඝණ කැලය සහිත ඊට වඩා උසින්, මුදුන ගල්තලාවක් වූ කදුගැටය තෝරා ගෙන තිබුණි. මේ වනවිට එම කදුගැටය වටා අතහැර දැමු ලෙන් ගුහා කීපයක් තිබුණි. කදු මුදුනේ මාළිගාව තැනු අතර මාළිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව සිංහ මුහුණකින් අලංකාර කරනා ලදී. කන්ද වටා මාළිගාවට පිවිසුම් මාර්ග සකස්කළ අතර වන ශාක එලෙසම තබන්නට ඇත. පිවිසුම් මාර්ගයේ පටු අනතුරු දායකස්ථාන ආරක්‍ෂක බැමි සහ තාප්ප යොදා සංරක්ෂණය කර තබන්නට ඇත. කදු පාමුල තැනිතලාව දර්ශනීය උයනක් බවට පත්කළ අතර කන්දෙන් හටගන්නා දිය කදුරු අලංකාර ලෙස සකස්කර ඇත. මීට අමතරව ජලමල් සහ ජල පොකුණු ආදියෙන් අලංකාර විය. මෙම උයන වටා ආරක්‍ෂක දිය අඟලකි. අනුරාධපුර දිසාවෙන් පැමිනෙන්නකු දුර සිට බැලුවිට පෙනෙන්නට ඇත්තේ තැනිතලා උයනට මදක් ඉහළින් පෙනෙනා සිංහ රුව සහ  වනයට ඉහළින් කදු මුදුනේ ඇති රජ මාළිගාවයි.

          මුගලන් කුමරා යම් පමණක සේනාවක් ඉන්දියාවෙන් මෙරට එවූබව ද, දේශීයව ඔහුගේ අනුගාමිකයන් හරහා සංවිධානය කල මහා සේනාවක් පහරදීමට සුදානම් වනබව ඔත්තුකරුවන් මගින් දැනගත් කාශ්‍යප රජු කන්ද වටා පිහිටි කැලය කපා ඉවත්කරන්නට අණකරන්නට  ඇත. මෙලෙස කැලය කපා ඉවත්කිරීම මගින්,  කැලයට ගිනි තැබීමෙන් රජ මාළිගයට වන හානිය සහ හොර රහසේ ඔත්තුකරුවන් සැගවී ඇතුළුවීමට ඇති හැකියාව නැති කිරීම අරමුණ වන්නට ඇත. කෙසේ නමුත් ක්‍රිස්තුවර්ෂ 497 දී මුගලන් කුමරු කාශ්‍යප රජු මරා රජකම ලබා ගත්තේය.

          මුගලන් රජ කාශ්‍යප රජුගේ සීගිරි රජමාලිගය විනාශකර දැමු බව ඉතිහාසයේ කිසිම තැනක සදහන්  නොවේ. එසේ නම් සීගිරි රජමාලිගය පරිහාණියට පත් වූයේ කෙසේද?

 

          ඉහත මා සදහන් කල පරිදි මුගලන් කුමරුගේ ප්‍රහාරයන්ට මුහුණදීම සදහා ස්වභාවික වනයෙන් වැසී පැවති සීගිරි  කදුගැටය එළිපෙහෙළි කිරීම නිසා මෙම සියළු ව්‍යසනයන් සිදුවූ බව මාගේ අදහසයි. මේ නිසා අද පවතින සීගිරි ගල වටා ස්වභාවික පස් කන්දක් පැවත ඇතිබවත්, ඒ මගින් කදු මුදුනට සහ චිත්‍ර සහිත ලෙන් (ගුහා) වලට පහසුවෙන් ලගාවිමේ මාර්ග තිබී ඇති බවත් සමහර අවධානම් ස්ථාන වල බැමි තිබෙන්නට ඇත. කැටපත් පවුර ලෙස දැනට ඉතිරිව ඇත්තේ එවැනි කොටසක් බව මාගේ විශ්වාසයයි.   

 

          ලෝකයේ පවතින බොහෝ කඳු අභ්‍යන්තරයන් මෙලෙස ඝණ පාෂණයන් ගෙන් (ගලෙන්) යුතුය එය වටා පාෂණ ජිරණයෙන් ඇතිවන පස් ඇතිවී ස්වභාවිකව පස මත ශාක වැඩේ. මෙම ශාක වල මුල් ජලය සොයා පාෂණ කුහර, පැලුම් සහ කඩතොළු තුලට  වර්ධනයෙන්  ගලට තදින් සවිවේ. මෙම ස්වභාවික ශාක මගින් ගල මතුපිට ඇති පස් සෝදා යාමට නොදී ආරක්‍ෂකයන් වශයෙන් ක්‍රියාත්මක වේ.  ගස් කැපීමෙන් ටික දිනකින් මුල් මැරී දිරාපත්වීම නිසා මෙම බැදීම් කැඩී බිදී යයි. වර්ෂාවෙන් වැටෙනා වැසි ජලය පස තුලින් කාන්දු වී ගලේ මතුපිට නතරවේ. මෙලෙස එකතුවන ජලය ගල තුලට ගමන් කිරීමට නොහැකි නිසා ගල මතුපිටින් පහත් ස්ථාන කරා ගමන් කිරීමේදී ගල සමග ස්පර්ශව ඇති පස් බුරුල්වී රූටා යයි. අද අප නායයාම් ලෙස හදුන්වන්නේ ද මෙවැනි සිදුවීම්ය. වර්ෂයකට මිලිමීටර 1500 පමණ වර්ෂාපතනයක් සීගිරිය ප්‍රදේශයට ලැබේ. වැසී කාලයේ දිනකට මිලිමීටර 200 ඉක්මවන අවස්ථා ද ඇත. මේ නිසා කාශ්‍යප රජු ආරක්ෂාව වෙනුවෙන් කල ගස් කැපීම සීගිරියේ ව්‍යසනයට මුල්වී ඇති බව මාගේ විශ්වාසයයි.

          මේ නිසා සීගිරියේ දැනට මතුකරගෙන ඇති නටඹුන්  වලට වඩා වැඩි නටඹුන්  ප්‍රමාණයක් තවමත් පස යට පවතින බව මාගේ විශ්වාසයයි.

          යම් පර්යේෂකයකු සීගිරිගල අවට දැනට කිසිම කැණීමක් නොකරන ලද භූමියක අඩි 30 – 40 ක් පමණ ගැඹුරට හෝ මාතෘපාෂාණය තෙක් පාංශු ස්තර අධ්‍යයනය කරමින් එහි කාල නිර්ණය කරන්නේ නම් මාගේ තර්කය ස්ථිර වන බව විශ්වාසයෙන් කිවහැක.

සීගිරියේ ඔබ නොදකින මට පෙනෙනා චිත්‍රය මෙලෙස සිතුවම් කර තබමි.

 

( තොරතුරු හා ජයාරූප : අන්තර්ජාලය වෙබ් අඩවි තුලින් )

 

 

 

අන්තර්ජාලයේ පවතින සීගිරියේ 1890 වර්ෂයේ  (සංරක්‍ෂණයට පෙර) ඡායාරූප

 

 

 

 


 

 

අන්තර්ජාලයේ පවතින සීගිරියේ වර්තමානයේ (සංරක්‍ෂණයෙන් පසු) ඡායාරූප

 

  1898 දී ඒච්.සී.පී.බෙල් මහතා

   

SRI LANKA’S SIGIRIYA: CAUGHT BETWEEN A ROCK AND A VERY HIGH PLACE                Archology Travel site - Posted by Thomas Dowson | Travel Reports | 0

https://whc.unesco.org/en/list/202/  Ancient City of Sigiriya

 

 


No comments: