Thursday, February 7, 2019


පරිසරයේ සොදුරු මැවුම්

බකන් ගුහා  (Buchan Caves ) - ඕස්ටේ‍්‍රලියා

ලොව ඉතා විරල සුන්දර ස්ථානයක් නැරඹීමට දිනූක (පුතා) 2019 පෙබරවාරි 3 දින අප රැගෙන යන ලදී. එය ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ගිප්ස්ලන්ඩ් හි බකන් ප්‍රදේශයේ පිහිටි රෝයල් බකන් ගුහාවයි. පොලවේ පිහිටි හුණුගල් පාෂාණ වලින්මේවා සැදී ඇත. මේ සමගම මෙහි ආසන්නයේ ෆේයරි (Fairy cave ) නම් තවත් ගුහාවක් ඇත. එය තුල ගමන් කිරීම අසීරු කරුණක් නිසා එහි යෑම අත්හැර දමනා ලදී. මෙය මෙල්බර්න් සිට කිලෝමීටර් 360ක දුරින් උතුරට බරව නැගෙනහිර දිසාවෙන් පිහිටා ඇත.   

 මෙය ස්වභාවිකව සැදුනු භූ පැල්මක් වන අතර භූ ගතව මෙවැනි පැලුම්  ඇති බව 1887 ගණන් වලදී හඳුනා ගෙන  එම ප්‍රදේශ රක්ෂිත වශයෙන් නම්කර ඇත.  මෙම පැලුම් කිලෝමිටර 3 - 4 දිගට විසිරි පැවතුනත් මෙම ප්‍රදේශයේ  භූ විද්‍යා සමීක්ෂණයක් කල  ඇල්බර්ට් එර්නස්ට් කිට්සන් (Albert Ernest Kitson) නම් භූ විද්‍යාඥයා මෙම ප්‍රදේශය අධ්‍යාපන හා සංචාරක කටයුතු සදහා සුදුසු බව නිර්දේශ කර ඇත. ෆරැන්ක් මුන් (Frank Moon) 1907 දී ඒ ආසන්නයේ තවත් පැලුමක් සොයාගත් අතර එය ෆේයරි (Fairy cave) නම් වේ.  1910 දී මෙම පැලුම් වලට පිවිසීමට ෆෙඩ්රික් විල්සන් (Frederick Wilson) විසින්  ගුහා විවර සාදන ලදී. 1930 වන විට පොදු ජනතාවට මෙය නිරීක්ෂණය සදහා අවසර දෙන ලදී. ඒ අනුව මෙම පැලුම් නැරඹීමට පිවිසීමට ගුහා පිවිසුම් සකස් කර ආරක්‍ෂිත මාර්ග සහ අත්වැට සදා විදුලි ආලෝකය ද සපයා ඇත. මෙම ගුහාවල නැරඹීමට ආරක්ෂිතව ගමන් කල හැකි කොටස මීටර 500 ක් පමණ වේ. මෙම ප්‍රදේශයේ ගුනායිකුරානි (Gunaikurnai ) නම් ස්වදේශික ඇබෝරිජිනල් (aboriginal) වරු අදටත් වාසයකරනා අතර රජය හා ඔවුන් හවුලේ ප්‍රාදේශීය කවුන්සිලයක් මගින් මෙය පාලනය කරයි. මෙය නැරඹීම කාල සටහනකට අනුව සිදුකරනා අතර මාර්ගෝපදේශකයකු සමග 25 දෙනෙකු එක්වරක් ගුහාව තුලට රැගෙන යයි. ගුහාව තුල සෙන්ටිග්‍රඩ් අංශක 170 උෂ්ණත්වයක් වසර පුරාවට පවතින අතර බාහිර පරිසරයේ උෂ්ණත්වය එක් එක් සෘතු අනුව විශාල ලෙස අඩු වැඩි වේ.  ගුහාව තුලට කැමරා හැර වෙනත් කිසිවක් රැගෙන යාමට අවසර නැත. මෙම කැල්සියම් ස්ඵටික  ව්‍යුහයන් අත්වලින් ස්පර්ශ කිරීම සපුරා තහනම් අතර, එසේ ස්පර්ශකල විට අත්වල පවතින තෙල් නිසා ස්ඵටිකීකරණය නතරවීම නිසා ව්‍යුහයන් වර්ධනය නවතී.  මොනයම් ආකාරයක බෑග් (Bag) රැගෙන යෑම සම්පුර්ණයෙන්ම තහනම්ය. මෙම සියලු කරුණු ගුහා දොරටුවේදී පිවිසීමට පෙර අවධාරණය කරනු ලබයි.

මෙම ප්‍රදේශයේ වාර්ෂීක වර්ෂාපතනය මිලි මිටර  800 පමණ වන අතර සෑම මාසෙකම මිලි මිටර  50-75 අතර ඒකාකාරී වැස්සක් ලැබේ.

මෙම ප්‍රදේශය මිට වසර මිලියන 300 – 400 පමණ පෙර මුහුදෙන් යටව පැවති ඇති අතර භූ තල තෙරපීම නිසා ඉලිප්පී ඇති බව පැවසේ. ඉන් පසු ගොඩබිමක් වූ මෙහි පැලුම් හරහා වැසි ජලය ගලායාම මගින් විවර තුල ඇති කැල්සියම් ලවණ දියවීයාම නිසා ඉඩකඩ සහිත කොටස් ඇතිවී ඇත. පසු කලෙක පාෂාණ ජීරණය මගින් බාහිර මතුපිට පස ඇතිවී  ශාක ගහණයක් ඇතිවී ඇත. වසර මිලියන සිය ගණනක් මුළුල්ලේ සිදුවූ බාහිර පරිසර වෙනස්වීම් අනුව සහ මතුපිට පසේ ජලය රඳවා ගැනීම නිසා මෙම පැලුම් තුලට ගලාගෙන එන  ජලය අඩුවී පැලුම් තුලට බිංදුවෙන් බිංදුව කාන්දුවන තත්වයක් ඇතිවී ඇත. ඉහල කැල්සික් පාෂාණ හරහා මෙය සිදුවන නිසා කැල්සියම් ලවණ අධික සාන්ද්‍රනයෙන් සහ ශාක කොටස් ජිරණයෙන් මුදාහරිනා අනෙකුත් රසායනික කොටස් මෙම ජලයේ අඩංගුවේ. ගුහාවේ ඉහල තලයේ සහ පොළොවට වැටෙනා ස්ථාන වලදී ජලය වාෂ්පිබවණයෙන් මෙම ලවණ කොටස් එහි තැන්පත්වේ. මේ නිසා වහල සිට පොලව දෙසට හිරිළඹත් (STALACTITES) පොලවේ සිට වහල දෙසට හිරිටැඹත් (STALAGMITES) නම් කැල්සියම් ව්‍යුහයන් හටගනී. මේවා කාලය සමග එම ස්ථානයටම ජල බිංදු පතිතවීම නිසා දිගින් සහ මහතින් වැඩිවීම සිදුවේ.  සමහර විට මෙම කොටස් එකට එකතුවී කණු සැදීම සිදුවේ. එමෙන්ම වහලේ ආනතිය අනුව විවිධ රටාවන් මවනා අතර ජලයේ දියවී ඇති වෙනත් ලවණ වර්ග අනුව  විවිධ වර්ණ සංයෝජන දැකිය හැක. පහත ජයාරූප මෙය වඩාත් පැහැදිළි කරයි. ආලෝකය වැටුනු විට කැල්සියම් ස්ඵටික දිදුලන අයුරු මනස්කාන්තය.











 




වවුල්පනේ - ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන බුළුතොට පිහිටි වවුල්පනේ  මෙතරම් වර්ධනයක් නොවුනත් මෙවැනිම ස්ථානයකි. 2004 වර්ෂයේ මා එහි සංචාරය කරනවිට තත්වය පහත රුප රාමු වල ඇත. මෙම ස්ථානය ද ලොව විරල ස්ථාන අතරට වැටෙන නමුත් එය රැකගැනීමට රජය කිසිම උත්සාහයක් ගෙන නොතිබිණ. අද තත්වය කෙලෙස දැයි මම නොදනිමි. ගම්වාසීන් මෙය රැකගැනීමට ගන්නා උත්සාහය අගය කල යුතුය.





ලංකාවේද කැල්සික් පාෂාණ විවිධ ආකාරයට පිහිටා ඇත. තිරිවානා, ඩොලමයිට්, හුණුගල් යන නොයෙක් ආකාරයට දැකිය හැක. මේ නිසා බාහිරට විවරනොවූ භූ පාෂාණවල අභ්‍යන්තර පැලුම් (දෝනාවන් ) සහිත ස්ථාන තිබියහැක. මාතලේ ප්‍රදේශයේ භුමියේ හදිසි ගිලාබැසීම් සහ නිවාස ඉරිතැලීම් වාර්තා වන්නේ මෙවැනි දෝනාවන් කඩා වැටිමෙන්ය.

 වවුල්පනේ, හුණුගල් කන්ද තුලින් ගලායන දියපහරක් නිසා ඇතිවූ උමගක් අනුව සැදී ඇත. මෙය මාගේ මතකයට අනුව මීටර 20 පමණ දිගින් යුතුය. අඳුරු බැවින් කිරි වවුලන් සහ කැරපොත්තන් විශාල ලෙස වාසය කරයි. අප්‍රසන්න ගණ්ධයකින් යුතුය. 2004 වසරේ මෙහි යනවිට ආලෝකය සපයාගැනීමට පෙට්රල් මැක්ස්  ලාම්පුවක් සහිත මග පෙන්වන්නකු ගමින් සොයගන්නලදී. කලබලවූ වවුලන්ගේ මළපහ වලින් බේරීමට හිස්වසුමක් සහ ආවරණය වූ ඇදුමක් යෝග්‍ය අතර අමතර ඇදුමක් රැගෙනයාම වඩාත් හොදය.

මෙහි ඉහල බිත්තියේ සැදුනු හිරිළඹ (STALACTITES) පමණක් දැකිය හැක.  වර්ෂා කාලවල මෙය තුලින් අධික ජල පහරක් ගලා යන බැවින් හිරිටැඹ (STALAGMITES) දැකිය නොහැක. අධික තෙතමනය සහ වවුල් වාසය නිසා බොහෝ කොටස් දුර්වර්ණව ඇත. එමෙන්ම දිලිර සහ පෙඳ වර්ග වර්ධනය ද ඇත.

 (මෙය 2004 මතකයන් ඇසුරෙන් සකස්කරනා ලදී ඔස්ට්‍රලියාවේ බකන් ගුහාව නැරඹීමෙන් පසු ලිවීමට සිත්විය. 2019 තත්වය වෙනස් විය හැක.)
 
  

Wednesday, January 9, 2019

පරිසරය සහ මිනිසා 2 - පරිසරයට අනුවර්තන



සෑම ජිවියෙක්ම තම පරිසරයට ඉතා ඉක්මනින් අනුවර්තනය හෙවෙත් හැඩගැසිම සිදුවේ. අදින් වසර මිලියන 8 පමණ පෙර ඉතියෝපියාව ආශ්‍රිතව පළමු මානවයා බිහිවී ඇති බව මෙතෙක් හමුවී ඇති මානව පොසිල සාක්‍ෂි දරයි. මානවයා අප්‍රිකානු කලාපයෙන් පිටතට විසිරීම අදින් වසර මිලියන 6 ක පමණ කාලයකදී සිදුවන්නට ඇතයි ලැබීඇති සාක්‍ෂි අනුව මානව පුරාවිද්‍යාඥයින් තහවුරු කරයි. ඉන්පසු විවිධ පරිසර කලාපයන් වලට යොමුවූ මානවයා එයට අනුරූපව ප්‍රභේදනය (බෙදීම්) සිදුවූ බව  මානව පුරාවිද්‍යාඥයින් කරුණු දක්වයි. මේ අනුව මිනිසාගේ ශරීර ප්‍රමාණය, වර්ණය, මුලික හැඩය, භාෂාව සහ ආහාර රටාවන් වල වෙනස් වෙනස්වීම් සිදුවී ඇත. ඒ අනුව මිනිසා ඔවුන් ජිවත්වන පරිසරයට අනුවර්තනයවීම මගින් විවිධ ලක්ෂණ සහිත මිනිස් ප්‍රජාවක් බිහිකර ඇත. මෙය අදින් වසර මිලියනයක පමණ වනවිට සිදුව ඇත. පෙර පැවති සංවෘත මිනිස් සමාජ ( එකම ජන කොටසකට පමණක් සීමාවූ සමාජ) තුලින් මෙම විශේෂිත ලක්ෂණ ඉස්මතුවීම තුලින් එම සමාජයන්ට පොදු ගුණාංග ඇතිවිය. මිනිසා ශිෂ්ටත්වයට පත්වීම සමග කුතුහලය සහ තොරතුරු සොයා යාමේ ආශාව නිසා සංචරණයන් දියුණුවීමෙන් මෙම සමාජ බාහිර ලෝකයට විවර වී දෙමුහුන් කරණය සිදුවී අද ගෝලීය මිනිස් ප්‍රජාවක් බිහිවී ඇත. මෙසේ වුවත් අද ද ඒ ඒ රට වලට ආවේනික සමාජ ගති ලක්ෂණ සහිත ජනකොටස් බොහොවිට දැකිය හැකිය.    නුතන මිනිස් සමාජයේ පරිසර අනුවර්තනයන්ට හොදම උදාහරණය වෙනත් රටක ඉපදී තව රටකට සංක්‍රමණය වූ ජනයා ලබාදෙයි.  ටික කලකදී ඔවුන්  සංක්‍රමණය වූ රටේ වාග්විලාශයට, වචන උච්චාරණයට, ආහාර හා ඇදුම් පැළදුම් සහිත සංස්කෘතික ලක්ෂණයන්ට හුරුවේ. මව් රටේ බොහෝදෙනාට මෙය හාසයක් ගෙනෙදෙන්නක් වුවත් මෙය පරිසරයට අනුවර්තනය වීමේ විද්‍යාත්මක තහවුරුවක ලක්ෂණ බව බොහෝදෙනා නොදනී.  

Thursday, January 3, 2019

පරිසරය සහ මිනිසා 1. ඇගලුම් (ඇදුම් පැළදුම්)

පරිසරය සහ මිනිසා -1

1. ඇගලුම් (ඇදුම් පැළදුම්)

පරිණාම වාදයට අනුව පරිසරයට හැඩගැසිය හැකි වන්නාට ජීවිත් වියහැකිය. මෙය සියළු ජීවින්ට පොදු වුවත් මිනිසා තමාට ඇවැසි ලෙස පරිසරය නිර්මාණය කරගත්හ. ස්වභාවික පරිසර තත්ත්ව විවිධ රටවල වෙනස් වන අතර රට තුල ප්‍රදේශ අනුවද ස්වභාවික පරිසර තත්ව වෙනස්වේ. නමුත් මෙම සියලු පරිසර තත්වන් යටතේ ජීවත්වීමට කාර්මීකරණයට පෙරසිටම ශිෂ්ටත්වයට පත් මිනිසා හැඩගැසි ඇත. කාර්මිකරණයෙන් පසු ගොඩනැගිලි, නිවාස සහ යානවාහන තුල තමාට අවශ්‍ය පරිදි පරිසර තත්ව සකස්කරගැනීමට හැකිවිය. නමුත් මිනිසාගේ පෙර හුරුවූ පුරුදු බෙහෝ දුරට එලෙසම පවත්වා ගැනීම සිදුවී ඇති අතර සමහර සමාජ හුරුවීම් උසස් යයි සලකා වෙනත් සමාජයන් අනුකරණයට පෙළබි ඇත.

මෙලෙස ප්‍රධාන ස්ථානය හිමිවන්නේ ඇදුම් පැළදුම් වලටය. නිවර්තන කලාපිය බොහෝ රටවල පිරිමින් එදිනෙදා වැඩෙහි යෙදෙනා විට  යට්කය වසා සැහැල්ලු රෙදිකඩක් දවටා සිටීමට හුරුවී තිබුණු අතර උඩුකය නිරාවනයව පැවතින. මෙය විවෘත පරිසරයේ වැඩකිරීමේදී ඇතිවන දහඩිය ඉක්මනින් වියළි, ගත සිසිල් කිරීමට උපකාරී විය. ඉන වටා දවටාගත් සැහැල්ලු රෙදි කඩින් ද කලවා සහ ඉකිලි ප්‍රදේශ වලට හොද වාතශ්‍රයක් ලැබීම මගින් දහඩිය මගින් ඇතිවන අපහසුතා මග ඇරිණි. ගැහැනුන් බොහෝවිට ගෘහස්තව කටයුතු කල බැවින් සැහැල්ලු රෙදි වලින් උඩුකය හා යටිකය ආවරණය කර ගත්හ. මෙම දෙපක්‍ෂයේම ඇදුම ඇගට තද නොවූ අතර ඇග හා ඇදුම අතරින් වාතය ගමන් කල හැකි විය.

ශිත කලාපයේ රටවල මිනිසුන් ශිත සුළගින් බේරීමට මුළු ඇගම වැසෙන ලෙස ඇදුම ඇදී අතර උඩ ඇදුම යට ඇදුම් ලෙස එකවර ඇදුම් කිහිපයක් ඇගලීම පුරුද්දක් ලෙස කලේය.  ඊට අමතරව හිම මිදෙනා කාලවල ඝන රෙදි (වුල්) ඇදුම් වලින් මුළු ඇගම වසා ගන්නාලදී. මේ නිසා නිවර්තන කලාපිය රටවල මිනිසුන්ට වඩා වෙනස් ඇදුම ස්වරුපයක් ඔවුන් සතුවිය. ඇගට ඇලිපවතින ලෙසට සැකසූ මෙම ඇදුම් වාතශ්‍රයෙන් තොරව වාත සංසරණය නොවන ලෙස සකසා තිබුණි. මේනිසා අත් සහ කකුල් වළලු කර දක්වා වැසෙන ලෙසත් නිරාවරණය වන අත් හා පාද, අත්වැසුම් හා මේස් භාවිතයෙන් ආවරණය කරගත්තේය. බෙල්ල කොටස වැසීමට කමිසයේ කොලරය වටා ටයි පටියක් මගින් අවශ්‍ය තදට සකසා ගන්නා ලදී. මෙය බොහෝවිට බටහිර රට වල දැකිය හැකි විය.

හිමාලය ආශ්‍රීත රටවල හා මධ්‍යම ආසියාතික රටවල මිනිසුන් ඝන රෙදි පොරෝණයක් ඇදුමට උඩින් ඇගලීම ඔවුන්ගේ ඇදුමේ කොටසක් විය. කදුකර ප්‍රදේශවල කෘෂීකාර්මික හා සත්වපාලන කටයුතුවල යෙදෙන විට ඇතිවන තද ශිත සුළගින් බේරීමට මෙම ඝන රෙදි පොරෝණය ඔවුනට මහඟු උපකාරයක් විය.
කාන්තාර වාසි ජනයාගේ ඇදුම එම පරිසරයට උච්ත ලෙස සකස් වී තිබුනත් දැන් එය ආගමික කොටසක සංකේතාත්මක ඇදුමක් බවට පත්වී තිබේ. පරිසරයේ පවතින අධික රශ්මියෙන් බෙරිමටත්, ඇගෙන් වැඩි ලෙස දහඩිය පිටවීම වළක්වාලීමට ඇගට නොඇලෙන තරමක් ලිහිල්, වාතාශ්‍රය නොවන ලෙස සකස් කල ඇදුමක්  භාවිතා කලෝය. හිස වසා දැමු රෙදිකඩකි තද සුළගින් ගැලවීයාම ආරක්ෂා කිරීමට හමින් සැදු වළල්ලක් හිසෙහි දමා තිබුනි. කාන්තාර හරහා හමනා වැලි සහිත සුළගින් ඇස ආරක්ෂාකාරීව වසා ගැනීමට හිසේ පැළදු මෙම රෙදිකඩ උපකරිවිය. කාන්තාවන්ද මෙලෙස සම්පුර්ණයෙන් සිරුර වැසූ ඇදුම් භාවිතා කල අතර හිස් වැසුම ගෙලවටා යන පරිදි පළල් රෙදිකඩකින් සාදා තිබුනේ වැලි කුණාටු වැනි හදිසි අවස්ථාවල දරුවන්ගේ ආරක්ෂාවට දෙඅත් නිදහසේ තබාගැනීමට පහසුවීම පිණිසය. පසුකාලීනව මෙම ඇදුමට ආගමික මතවාදයන් එකතුවීම නිසා විවිධ රටවල ආගමික නිකායන් අනුව වෙනස්වීම් වලට යොමුවී ඇත.

          යුරෝපියන්ගේ නිවර්තන කලාපිය යටත් විජිතයන් වලදිද ඔවුන් ගේ සුපුරුදු ඇදුම භාවිතා කල බැවින් ඔවුන් අනුකරණය කල එම රටවල ස්වදේශිකයන් ද ඔවුන්ගේ සුපුරුදු ඇදුමෙන් මිදී යුරෝපියන්ගේ ඇදුම උසස් කොට සලකා  එයට හුරුවිය. පසුකලෙක සුළු වශයෙන් වෙනසකට භාජනයවූ අද අදිනා ඇදුම ඒ ඒ රටවල පොදු ලෙස බහුලව  භාවිතාවෙයි.