නියඟය සහ ගංවතුර අපේ ජන ජීවිතයට නිරන්තරයෙන්
බලපෑම් ඇති කරනා ස්වාභාවික සංසිද්ධි දෙකකි. වර්තමානයේ මාස කීපයක් වැසි ජලය නො ලැබුණ හොත් නියඟය ලෙස ද පමණට වඩා වැඩියෙන් වැසි ලැබී ජලය, දෙ ගොඩ තලා පහත් බිම් ප්‍රදේශ යට කරමින් ගලා යාමේ දී
ගංවතුර ලෙස ද අර්ථකථනය කරුණු ලබයි. මෙම අහිතකර කාලගුණික තත්ව දෙක අතර ඇති ප්‍රධාන
වෙනස එම තත්ව ඇතිවීමට ගත වන කාල පරාසයයි. නියඟය ක්ෂණික සංසිද්ධියක් නොවේ. නියඟ
තත්වයක් ඇතිවීමට මාස කීපයක් වැසි නො ලැබී පොළොව
මතුපිට පස් ස්තර වියළී යා යුතු ය. මේ නිසා නියං තත්වයක් ඇතිවීම නිතිපතා කාලගුණික පරාමිතික විමර්ශනයෙන් කල්
තියා හඳුනා ගත හැක. ගංවතුර ඇතිවීම මීට හාත්පසින් ම වෙනස් කාල පරාසයක සිදු වේ.
ධාරානිපාත වැසි ලැබුණ හොත් ක්‍ෂණිකව ගංවතුර
ඇති වේ. මෙම පාරිසරික වෙනස් වීම් අපේ
මුතුන්මිත්තන් සුළං දිසාවේ හැසිරීම වලාකුළු සහ සතුන් ගේ හැසිරීම් රටා පිළිබඳ පාරම්පරික
ව ගොඩනගා ගත් දැනුම මත පරිසරය පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සිට එය නිවැරදි ලෙස විශ්ලේෂණය
කිරීම මගින් ආපදාවන්ගෙන් බේරිසිටීමට සමත් විය. අද ඇති ඉහළ දියුණු තාක්ෂණික උපකරණ මගින් වැසි
ඇතිවීම සහ ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දිය හැක. මෙම තොරතුරු ද දිනපතා විමර්ෂණ හා විශ්ලේෂණ මගින් අනාගතය පිළිබඳ පුරෝකථනයන් කල හැක.
මෙම ස්වාභාවික සංසිද්ධි දෙක ඉතිහාසය පුරාම තාවකාලික
ස්වරූපයෙන්, ප්‍රාදේශීය වශයෙන් සුළු හෝ ප්‍රබල
ලෙස සිදු වී ඇති බව අතීතය විමසා බැලීමේ දී පෙනී යයි. අදට
සාපේක්‍ෂව විද්‍යාව අතින් නො දියුණු එදා ද
නියඟය නිසා ශ්‍රී ලංකාවේ දී මිනිස් ජීවිත හානි වී ඇති බවට කිසිදු වාර්තාවක් සොයා ගත
නො හැකි විය. මෑත කාලයේ වන හා ගෘහාශ්‍රිත නිදැලි
සත්ව මරණ කීපයක් පිළිබඳ වාර්තා වන් දැක ගත හැකි වුවත් එම සතුන් ද මිනිස් ක්‍රියාකාරකම්
නිසා පටු බිම් කඩ වලට කොටුවීමෙන් සතුන්ගේ නිදහස් සංචරනයට බාදා නිසා සිදුවුවන්ය.
සතුන්ට කාලගුණික තත්වයන් පිළිබඳ සහජ දැනීමක් පවතී. මේ නිසා අහිතකර කාලගුණික
තත්වයක් විශේෂයෙන් නියඟය ඇතිවීමට පෙර එම ප්‍රදේශ වලින් ඉවත් වීමට එම සතුන් ක්‍රියා
කරයි. අප්‍රිකානු ප්‍රදේශයේ අදත් මෙම
තත්වය දැකීමට පුළුවනි.
ශ්‍රී ලංකා වාසි අපට ස්වාභාවික ව ජලය ලැබෙන්නේ වර්ෂාවෙන්
පමණි. වර්ෂාව හිරු ගේ ගමන් මග නිසා ඇති වන ගෝලීය සුළං ප්‍රවාහයන් මගින් හසුරුවනු
ලබයි. මේ නිසා අපගේ මුතුන්මිත්තන් සුළං ප්‍රවාහයන් හැසිරීම පරිසර නිරීක්ෂණය මගින්
හදුනාගෙන වැසි ඇතිවීම් පිළිබඳ නිවැරදි පුරෝකථනයන් කිරීමට සමත් විය. එදා පැවති බාහිර ලෝකය හා අඩු සම්බන්ධතාවය සහ ගමට ම සීමා වූ ඔවුන්ගේ ලෝකය තුල ජීවනොපාය පිළිබඳ
තීරණ ගැනීම ඔවුන් විසින් ම සිදු කළ යුතු විය. එය ඔවුන් ගේ ජීවන රටාවේ වඩාත් තීරණාත්මක
අවස්ථාවක් විය. ගොවිතැන සදහා ඔවුන් සතු සීමිත බීජ ප්‍රමාණය වැරදි තීරණ මත විනාශ
වුවහොත් ඊලග කන්නය වගා කිරීමට බීජ නොමැති වේ. අද මෙන් වෙළදපොලෙන් හෝ වෙනත් තැන්
වලින් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් විය. මේ නිසා ඔවුන්ගේ ජීවන රටාවේ අත්‍යාවශ්‍ය
කටයුත්තක් ලෙස පරිසර නිරීක්ෂණයන් ද ඒ සම්බන්ධව වැඩිහිටියන් හා සාකච්ඡා කිරීම්
නිරන්තරයෙන් සිදුවිය. මේ මගින් එම සමාජයේ සියලු දෙනා දැනුවත් වූ අතර ඊට මුහුණදීමට
සියලුම දෙනා සූදානම් විය.
එදා කෘෂිකාර්මික හා සත්වපාලනය මුලික ජීවන
රටාවක් මත දිවිගෙවූ ඔවුන් අද මෙන් නොව සෑම කටයුත්තක දීම පරිසරය මුල් තැනෙහි ලා කටයුතු කළහ. නව ගම්මාන
ඇති කිරීමේ දී (වාස භූමි තේරීමේ දී) සහ වගා බිම් ඇති කිරීමේ දී වසර පුරා ජල සුලබතාවට ප්‍රමුඛත් වය ලබා දෙන ලදහ.
එම බිම් ගංවතුරට යට වේ ද පෑවිලි කාලයේ බීමට සහ වගාවට ප්‍රමාණවත් ජලය නොමැති වේද
යන්න මූලික කරුණ ලෙස සලකන ලදී. ස්වභාවික
භූමි පිහිටීම එලෙස ම පවත්වා ගනිමින් ජල මාර්ග අවහිර නොකරමින් වාස භූමි ඇතිකළහ. අද මෙන් අවිචාරවත්
ලෙස මෙම මුලික කරුණු නොසලකා ගොඩනැගිලි ඉදිකිරීම් පදිංචිය හා සංවර්ධනය සිදු නො කළහ.
භූමියේ චිරස්ථිතියට ප්‍රමුඛත්වය ලබා දෙමින්
සියලු කටයුතු සිදු කළහ.
විදේශිය ආක්‍රමණිකයන් සමග පැමිණි බටහිර චින්තනය මෙහි
පැවති මෙම පාරම්පරික දැනුම සහ ඒ හා බැදුණු සාරධර්ම සම්පුර්ණයෙන් ම වෙනස් කර ඔවුන්ගේ
ආරක්ෂාව සහ පහසුව සදහා ජනාවාස පිහිට වූ අතර ජලය සැපයීම සහ කසල බැහැර කිරීම් සදහා
යටත් වැසියන් සේවයේ යොදවා ගන්නා ලදහ. මේ
සදහා ජලසම්පාදන සේවා කණ්ඩායම් හා කසල ශෝධන
සේවා කණ්ඩායම් ඇති
කළ
අතර ජනාවාසකරණයේ දී පැරණි සම්ප්‍රදායත් සම්පුර්ණයෙන් ම
බැහැර කරනා ලදී. ගමනාගමනය පහසුව සදහා මාර්ග පද්ධති ඉදිකළ අතර ස්වභාවික භූමි පිහිටීම
නොසලකා කුඩා ජල මාර්ග අහුරමින් මෙම ඉදිකිරීම් කටයුතු සිදුවිය. ඔවුන්ගේ සහයට පාලන කටයුතුවලට හවුල් වූ
මෙරට ප්‍රභූ පැලැන්තිය ද එම ක්‍රම අනුගමනය කල අතර ගමන් පහසුව හා ඇතිවෙමින් යන සේවා සැපයුම්
ක්‍ෂේත්‍රයන් මුලික කර මහාමාර්ග දෙපස පදිංචිය ඇතිවිය.
ජනගහණ වර්ධනය සමග ඇතිවන ඉඩම් සීමකාරිත්වය, සේවා සැපයුම් ලබාගැනීමේ
පහසුව මූලික කර පහසුවෙන් අත්පත් කර ගත හැකි වූ ඕනෑම ස්ථානයක පදිංචියට අද ජනයා හුරු
වී ඇත. දශක පනහක පමණ කාලයක සිට සැලසුම් කරණයෙන් තොර ව ලංකාවේ සිදු වූ මෙම
නාගරීකරණය ස්වාභාවික පරිසරය සමග බද්ද නො වීම නිසා සුළු කාලගුණික වෙනස් වීම් පවා
දැඩි ආර්ථික හා ජීවිත හානි ඇති කරනා තත්වයන්ට වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කාලගුණික තත්වය
ශ්‍රී
ලංකාවේ අප මෝසම් කාල සීමා දෙකක් සහ අන්තර් මෝසම් කාල දෙකක් වසර පුරා අත්විඳිනා බව අතීත
කාලගුණික තත්වය විමසීමේ දී පෙනීයයි. මෝසම්
තත්වයන් ගෝලීය සුළං ප්‍රවාහයන් අනුව සිදුවන අතර
අන්තර් මෝසම් තත්වයන් ප්‍රාදේශීය සුළං ප්‍රවාහයන් හටගැනීම මත සිදුවේ.
ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වය විග්‍රහ කිරීමේ දී
ලෝකයේ එහි පිහිටීම හා භූ විෂමතාවය ඉතා
වැදගත් වේ. පෘතුවි තලය මත ඉන්දීය මහාද්වීපයට පහළින් ඉන්දියන් සාගරයේ දූපතක්
ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත වී ඇත.
මේ
නිසා අපට ජලය ලැබෙනා එකම මග වර්ෂාව පමණි. වර්ෂාව
ඇති කරනා තෙතමනය සහිත සුළං ධාරා අප රට මතින් මේ සදහා ගමන් කල යුතු ය. වර්ෂය පුරා හිරු
ගේ ගමන් මග සුළං ධාරාවන් ඇති කිරීමට හේතුවේ. හිරු වටා පෘතුවියේ බ්‍රමණ තලය ඇලයට පිහිටීම
නිසා හිරු ගේ පිහිටීම වර්ෂය තුල කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර දෝලනය වන
ආකාරයක් අපට දැනේ. හිරු දෝලනය වන මධ්‍යස්ථ රේඛාව ලෙස සමකය දක්වයි. ශ්‍රී ලංකාව සමකයට අංශක 5055’ – 90 51’ ක් ද උතුරෙන්
දේශාංශ 790 42’ - 810
55’ නැගෙනහිර අතර නිවර්තන කලාපයේ පිහිටීම
නිසා වර්ෂය පුරා හිරු රැස් තදින් පතිත වේ. උල් තුඩක් හැඩති ඉන්දීය බූමි තලය නිසා ශ්‍රී
ලංකාවට උතුරු දෙසින් පිහිටි මහා සාගරය ඊසාන දෙසින් බෙංගාල
බොක්ක ලෙස ද වයඹ දෙසින් පර්සියන් බොක්ක (අරාබි මුහුද) ලෙස ද නිර්මාණය වී ඇත. පකිස්ථානයෙන්
ආරම්භ වී ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ සිට නේපාලය භූතානය හරහා චීනය දක්වා දිවෙන හිමාලය
කදු වැටිය බෙංගාල බොක්කට ඉහලින් තැනු තාප්පයක් මෙන් පිහිටීම නිසා නිවර්තන
කලාපයේ හටගන්නා මෝසම් සුළං බෙංගාල බොක්කේ සිට ශ්‍රී ලංකාව මතින් පර්සියන් බොක්ක (අරාබි මුහුද) දෙසට ගමන් ගනී. මෙය ඊසාන
දිග මෝසම් සුළඟ ලෙස හදුන්වයි. සාමාන්‍යයෙන්
දෙසැම්බර් මස සිට පෙබරවාරි මාසය දක්වා මෙම සුළං පවතී. මීට ප්‍රතිවිරුද්ධ
දෙසට, එනම් නිරිත දිග සිට ඊසාන දෙසට (පර්සියන් බොක්ක (අරාබි මුහුද) දෙසට සිට බෙංගාල බොක්ක දෙසට) ගෝලීය සුළං
තත්වයක් මැයි මස සිට සැප්තැම්බර්
මස දක්වා පවතී. මෙය නිරිතදිග මෝසම් සුළං කාලය ලෙස දක්වයි.
මෙම මෝසම් කාල සීමාවන් අතර කාලය අන්තර් මෝසම්
කාල ලෙස දක්වන අතර ශ්‍රී ලංකාවට පතිත වන
හිරුරැස් වලින් ගොඩබිම රත් වීම නිසා ඊට ඉහළින් ඇති වාතයේ සංවහන සුළං ධාරා මගින්
ඇතිවන වායුගෝලය කැලඹීම් හේතුවෙන් මුහුදේ සිට ගොඩබිම දෙසට සවස් කාලයේ සුළං ඇතිවේ.
මෙම සුළං ජල වාෂ්ප වලින් පොහොසත් වන්නේ නම් ප්‍රාදේශීය වශයෙන් වැසි ඇති කරයි. ප්‍රථම අන්තර් මෝසම් කාලය මාර්තු අප්‍රේල් කාලසීමාවේ ඇති වන අතර දෙවන අන්තර් මෝසම්
කාලය ඔක්තෝබර් නොවෙම්බර් කාල සීමාවෙ
දී හටගනී. මීට අමතරව බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවන අඩු පීඩන අවපාතයන් නිසා
වායුගෝලයේ සිදුවන කැලඹීම් මගින් වැසි
කුණාටු ඇති කරයි. මේවා අහබු ලෙස සිදුවන බැවින් දියුණු කාලගුණ විද්‍යා උපකරණ නිරන්තර
නිරීක්ෂණ මගින් හදුනාගත හැක. මෙහිදී පීඩන අවපාතයේ ප්‍රබලත්වය, දිශානතිය හා ගමන්මග
හදුනාගෙන බලපෑම් ඇතිවන කලාපයට අනතුරු ඇඟවීම් කල්තියා සිදුකළ හැක.
අප රටට අපේම කාලගුණික චන්ද්‍රිකාවක් ගුවන් ගතකර
පවත්වාගෙන යාමට තරම් වත්කමක් නැත. දියුණු
රටවල් ගුවන්ගතකර ඇති කාලගුණික චන්ද්‍රිකා මගින් රැස්කරනා දත්ත නිරන්තරයෙන් එම මධ්‍යස්ථාන
වෙත ලබා දෙන බැවින් ඕනෑම අයෙකුට නියමිත මුදල් ගෙවීමෙන් එම සේවා වන් ලබාගත හැක. මෙය එතරම් විශාල මුදලක් නොවේ.
මුදල් ගෙවා දිනපතා දත්ත ලබාගැනීම මුදල්
අපතේයාමක් ලෙස කාලගුණික විපත් සිදු නොවෙනා කාල වල දී කෙනෙකුට හැගුණත්, එක් කාලගුණ
විපතකින් සිදු වන හානිය නිවැරදිව ගණනය
කළහොත් ඊට වඩා ඉතා ඉහළ අගයක් ගනී. මේ නිසා
රාජ්‍ය මුදල් මේ සදහා යෙදවීම හා එම දත්තයන් නිවැරදි ලෙස විශ්ලේෂණය හා පුරෝකථනය මගින් අපට මෙම හානි අවම කර ගත හැක.
ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය
ශ්‍රී ලංකාවේ
වාර්ෂික වර්ෂාපතනය ( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අන්තර්ජාල පිටුවෙන්)
කලාප 1: වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 1000 හෝ ඊට
අඩු ප්‍රදේශ
කලාප 2: වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 1000 ට වැඩි සහ මිලි මීටර් 2000 හෝ ඊට අඩු ප්‍රදේශ
කලාප 3: වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 2000 ට වැඩි ප්‍රදේශ
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
අන්තර්ජාල පිටුවේ ඉහත දක්වා ඇති වාර්ෂික
වර්ෂාපතන සිතියම දක්වා ඇත. මේ අනුව ශ්‍රී
ලංකාවේ අඩුම වාර්ෂික වර්ෂාපතන ප්‍රදේශ ලෙස කලාප 1 ට අයත් වන්නේ ගිණිකොන දිශාවේ
පිහිටි හම්බන්තොට ප්‍රදේශයත් වයබ දිශාවේ පිහිටි පුත්තලම - මන්නාරම ප්‍රදේශයත්
පමණි. මේ ප්‍රදේශ වෙරළාසන්න තැනිතලා ප්‍රදේශ ලෙස දක්වයි. ශ්‍රී ලංකාවේ අප
මෙම ප්‍රදේශ ශුෂ්ක ප්‍රදේශ ලෙස හදුන්වන්නේ අඩු වර්ෂාපතනය, වැඩි උෂ්ණත්වය, වැඩි
වාෂ්පීකරණය හා පාංශු ගුණාංග නිසා පරිසරයේ ශුෂ්ක රූපී ලක්ෂණයන්ගෙන් යුතු ශාක ප්‍රජාව
හේතුවෙනි. මෙය එකම දිශා රේකාව දෙකොනේ (
වයබ හා ගිණිකොණ ) පිහිටි අනෙක් කලාප හා සැසදීමේදී කුඩා ප්‍රදේශයකි. ඉන්දියාවේ වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර්
400 ට බොහෝ ප්‍රදේශ පැවතියත් ඒවා ශුෂ්ක ප්‍රදේශ ලෙස නො සලකයි.
කාලගුණික කලාප 2 ලෙස සලකන්නේ වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි
මීටර් 1000 ත් 2000 අතර ප්‍රමාණයක් ලැබෙනා ප්‍රදේශයන්ය. මෙයට ශ්‍රී ලංකාවේ උතුර,
උතුරුමැද, වයබ , ඊසාන, නැගෙනහිර සහ ගිණිකොන තැනිතලා ප්‍රදේශ සහ මධ්‍යම කදුකරයේ නැගෙනහිර
බෑවුම් ප්‍රදේශ අයත් වේ. මෙම කලාපය වඩාත් පැතිරුණු විශාලම කලාපය වේ. නිවර්තන ලක්ෂණ
සහිත ශාක ප්‍රජාවක් සහිතය. පොදුවේ මෙම කාලගුණික කලාප 2 ට අයත් ප්‍රදේශ ශ්‍රී
ලංකාවේ වියළි කලාපය ලෙස හඳුන්වයි.
කාලගුණික
කලාප 3 ලෙස සලකන්නේ වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 2000 ට වැඩි ප්‍රමාණයක් ලැබෙනා ප්‍රදේශයන්ය. මෙයට ශ්‍රී
ලංකාවේ බස්නාහිර හා දකුණු පළාත් ද මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ අයත් වේ. මෙහි
ශාක ප්‍රජාව නිවර්තන වැසිවනාන්තර ලක්ෂණ දක්වයි. මෙම කාලගුණික කලාප 2 ට අයත් ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ තෙත් කලාපය ලෙස හඳුන්වයි. ශ්‍රී
ලංකාවේ පිහිටි සියලුම ගංගාවන් ඇරඹෙන්නේ මෙම කලාපයෙනි. මෙම ගංගා ශ්‍රී ලංකාවේ උතුරු
ප්‍රදේශය හැර අනෙක් සියලු ප්‍රදේශ ආවරණය කරණු ලබන අතර එම ප්‍රදේශ වල ජල සුලබතාවයට,
විශේෂයෙන් භූගත ජල සුලබතාවයට ඉහළ දායකත්වයක් ලබා දෙයි. මහවැලි, කැලණි,
කළු, නිල්වලා සහ වලවේ ගංගා මෙසේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මධ්‍යම කදුකරයෙන් ආරම්භ
වි සතර දිසාවට ගලා බසී.
ශ්‍රී ලාංකික ව්‍යවහාර භාෂා නාමාවලියේ ජල මාර්ග හැදින්වීමෙ දී
ගංගා ලෙස නාමකරණය කර ඇත්තේ වසර මුළුල්ලේ ජලය ගලනා ජල
මාර්ග සදහා ය. වසරේ යම් කාලයක සම්පුර්ණයෙන් වියළී යන, වැසි කාලයේ විශාල ජල කදක් රැගෙන යන ජල මාර්ග ඔය
ලෙස ද ඊට ප්‍රමාණයෙන් කුඩා ජල මාර්ග ඇල
හෝ දොල ලෙස ද හඳුන්වා ඇත.
ශ්‍රී ලංකාව සමස්තයක් ලෙස ගත් කල
අනෙක් රටවල් හා සැසදීමේ දී අධික වර්ෂාපතනයක් ලැබෙනා අතර භූමි ප්‍රමාණයෙන් කුඩාය.
මෙසේ ස්වභාවිකව ලැබෙනා ජලය යම් ප්‍රමාණයක් පස මගින් රඳවා ගන්න අතර වැඩි ප්‍රමාණයක්
ගංගා හා ඔය මගින් මුහුදට ගලා බසී.
කාලගුණික
කලාප 2 හෙවත් වියළි කලාපයට වැඩි වර්ෂාවක් ලැබෙන්නේ
වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිට ජනවාරි දක්වා මහ කන්නය තුලය.
කාලගුණික
කලාප 3 හෙවත් තෙත් කලාපයේ වර්ෂාපතනය බොහෝ දුරට වර්ෂය පුරාවට පැතිරී පවතින බැවින් ජල මාර්ග වලට නිරන්තරයෙන්
ජලය එකතුවෙයි. එමෙන්ම පස ද තෙත් බවින් යුතු අතර පස තුල භූගත ජල තට්ටුවක් පවතී.
වර්ෂාව නොමැති කාලවල දී පවා පසේ මෙම ජලය ක්‍රමක්ක්‍රමයෙන්
ජල මාර්ග වලට එකතුවීම මගින් වියළි කාලයේ දී ගංගා වල අවම ජල
ධාරාවක් ගලා
යයි. මේ නිසා කදුකර ජල පෝෂක ප්‍රදේශ වල කාබනික ද්‍රව්‍ය
බහුල ගැඹුරු පසක් පවතී නම් වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගත හැකිවන අතර ජල මාර්ග වලට
වැඩි කාල පරාසයක් තුල සෙමින් සෙමින් ජලය එකතුවීම සිදුවේ.
ජනගහණ වර්ධනය සමග ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට
සහ නිවාස සදහා වනාන්තර හෙලි පෙහෙළි කිරීම සමග ස්වභාවික වනයකින් පසට එකතුවන කාබනික ද්‍රව්‍ය
නොලැබීම නිසා පසේ ජල ධාරිතාව ඉතා අඩු අගයකට පත්වේ. එමෙන්ම පංශු ඛාදනයට වර්ධනය
වීමෙන් පසේ ගැඹුර අඩු වී ජලාශ සහ ජල මාර්ග ගොඩවීම සිදුවේ. මේ
නිසා ගොඩබිම තුල රදවාගත හැකි වැසි ජලය වැඩි ප්‍රමාණයක් කෙටි කාලයක් තුල ජල බස්නා
මාර්ග මගින් මුහුදට ගලා යයි.
ජනගහණ වර්ධනය සමග ඊට සරිලන සේ නිවාස සහ
ගොඩනැගිලි, මහාමාර්ග ආදිය සංවර්ධනය කල යුතුය. මේ නිසා පස මතුපිට වැසි ජලය පසට
ඇතුළුවීමට ඇති ස්වභාවික අවකාශ වැසී යයි. කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හා
තදාසන්න නාගරික ප්‍රදේශ වල 80% වඩා ස්වභාවික
පස මතුපිට ආවරණය වී ඇත. මේ නිසා වැසි ජලය වැඩි ප්‍රමාණයක් පසට උරාගැනිමට නොහැකිව
මතුපිට ගලායාම නිසා පවතින කාණු සහ බස්නා පද්ධති ප්‍රමාණවත් නොවීම මගින් උතුරා
පිටාර ගලයි. මීට අමතරව ස්වභාවික ජල බස්නා මාර්ග හා ආශ්‍රීත ස්වභාවික පහත් බිම් ප්‍රදේශ
ගොඩකිරීම මගින් ජලය හා බැදුණු අවාසි දෙකක් සිදුවේ.
·
ජල මාර්ග වලින් ස්වභාවිකව ජලය බැස යාමට
ප්‍රථම මෙම පහත් බිම් ප්‍රදේශ වලට රැස් වෙයි. ඒ අතරම රැදි පවතින ජලය පස තුලට
කාන්දුවීම මගින් භූ ගත ජලයට විශාල දායකත්වයක් ලබා දේ. මේ නිසා අක්‍රමවත් ලෙස පහත්
බිම් ප්‍රදේශ ගොඩ කිරීමෙන් මෙම තත්වය මගහැරේ.
·
භූ ගත
ජලය ප්‍රමාණවත් ලෙස ප්‍රතිපෝෂණය නොවීම නිසා වැසි ඇතිවී සුළු කලකින් පසේ ජලය ( භූ
ගත ජලය) ගහකොළ, ළිං මගින් භාවිතා කිරීම නිසා වියළි යයි. මේ නිසා වැස්සෙන් පසු සුළු කාලයක
දී නියං ලක්ෂණ පරිසරයේ දැකිය හැක.
මෙම ලිපියේ ආරම්භයේ දක්වා ඇති පරිදි අපේ මුතුන්මිත්තන් නව ජනාවාස හෝ අලුත් වගා බිම්
ඇති කිරීමේ දී භූ ගෝලීය පිහිටීම වෙනස්
නොවන ලෙස, ජල මූලාශ්‍රයක් ආසන්නයේ ජල ගැලීම් වලට හසු නොවන සීමාව නිවාස සදහා වෙන්
කළහ . වගා බිම් තේරීමේ දී “භුමියට සුදුසු බෝගය” තේමාව කර ගනිමින් පහත් බිම් ප්‍රදේශ
මඩ වී වගාවටත්, හොද ජල වහනයක් සහිත පසෙන් යුතු ප්‍රදේශ ගොඩ බෝග සහ පලතුරු වගාවටත් යොදා
ගන්න
ලදී.
පරිසරය
හා කාලගුණය පිළිබඳ හොද අවබෝධයක් තිබු බැවින් ශ්‍රී ලංකාවේ වී වගා කටයුතු සදහා උචිත
ම කලාපය ලෙස කලාප 2 හෙවත් වියළි කලාපය හදුනා ගත් අතර එහි පැවති ප්‍රධාන ගැටලුව එනම්,
වසර පුරාවට ඒකාකාරී ලෙස වැසි ජලය නොලෑබීම විය. මෙලෙස පරිසර කලාප 2 වෙත වසරේ
සීමාසහිත කාල පරාසයක පසට දරාගැනීමට හැකි පමණට වඩා වැඩියන් ලැබෙනා ජලය වැව් සාදා
ගබඩා කිරීම මගින් වියළි කලාපයේ ජන ජිවිතයට අවශ්‍ය ගෘහස්ථ ජල අවශ්‍යතාවයන් මෙන්ම
පරිසරයට හා සතා සිව්පාවට අවශ්‍ය ජලයද සැපයීය. බොහෝ විට අහස් දිය වගාවක් ( වැසි ජලය
පමණක් යොදා) සදහා වගා චක්‍රයක් (බිජ පැල කිරීමේ සිට අස්වනු නෙලා ගැනීම) සම්පුර්ණ
කිරීමට ප්‍රමාණවත් වැසි කාලයක්
නො
පැවතුනී. එම කාලවල දී දේශීය ආවේනික වී
වර්ග වගා කල අතර මස 6 ක පමණ වගා චක්‍රයක් විය.
මේ
නිසා වැසි නොලැබෙන වියළි කාල වලදී වැව් වල ගබඩා කර තබාගන්නා ජලය වාරි ඇළ මගින් වී
වගාවට ලබා දීම සිදුකරනා අතර වාරි ඇලට උඩින්
ඒ අසල පිහිටි ගොඩ ඉඩම් වල වගාකර ඇති ගොඩ බෝග ඇල තුලින් කාන්දු වී පසට එක්වන
ජලයෙන් පෝෂණය විය. එමෙන්ම වැව් පත්ලෙන් කාන්දු වීමෙන් නිරන්තරයෙන් භූගත ජලයට යම්
ප්‍රමානයකට ජල සැපයීමක් සිදුවේ. මේ මගින් අවට ළිං සහ ගහ කොළ සජීවීව පවත්වා ගැනීම
සිදුකරණු ලබයි. එදා අපේ මුතුන්මිත්තන් පරිසරය ඉතා හොදින් අධ්‍යනය කර වටහාගෙන
තිබුනි. ස්වභාවික ජල මාර්ග වල ඉහළ කුඩා ජලාශත් ක්‍රමයෙන් පහලට යාමේදී වැඩි ජල
ධාරිතාවයකින් යුතු වැව පද්ධතියක් සෑදීම මගින් මෙය හොදින් පැහැදිලි කරදෙයි. ජලය
ඔවුන්ගේ ජිවය ලෙස සලකූ බැවින් වැව් තැනිමකදී හැර ස්‌වභාවික ජල මාර්ග කිසිම ලෙසකින්
ආවහිර කිරීමක් නොකළහ. මේනිසා එදා වැසි නියමාකාරයෙන් ලැබුනේනම් එම ජලය වැව් වලට සහ
පරිසරයට ප්‍රමාණවත් විය.
නමුත්
අද තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්වී ඇත. ශ්‍රී ලංකාවේ ජනාවාස සැලසුම් කරණයේ දී මුලිකව
සලකනු ලබන්නේ වැසි හා අපජලය හැකි ඉක්මනින් මහ මුහුදට මුදා හැරීමයි. මේ සදහා
ප්‍රධාන නගර මුල් කොට ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වී ඇත. මේ මගින් වැසි
ජලගැලීම් පාලනය වුවත් පරිසරයේ පැවැත්මට ප්‍රමාණවත්
ජලය නොලැබේ. ගස් වැල් හා ස්ථීර බෝග වල මුල් පද්ධතිය පවතින්නේ පොළව මතුපිට සිට පස
තුලට ගැඹුර මීටර් 2 - 3 සිමාවේය. මේ නිසා
පාංශු ජල මට්ටම පහල බැස මුල කලාපය වියලීම සමග ගස් මැලවීමට පටන් ගනී. මෙම තත්වය
දිගින් දිගට පැවතියහොත් ස්ථීර ලෙස ගස් මැරී යාම සිදුවියහැක.
ශාක පොළවට වැටෙනා සූර්ය ශක්තිය සහ වායු ගෝලයේ
පවතින කාබන්ඩයොක්සයිඩ් වායුව තම ආහාර නිපදවීමට යොදාගැනීම නිසා පරිසරය රත්වීම වලකින
අතර ජීවයට හිතකර ඔක්සිජන් වායුව පරිසරයට ලබාදේ. නමුත් පරිසරයෙන් ශාක ඉවත්වීම සමග
පරිසරයේ පවතින කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශත ඉහළ යන අතර එය සූර්ය ශක්තිය කොටසක්
අවශෝෂණය කර පරිසරය රත් කරයි. මේ සමගම සූර්ය රශ්මිය කෙලින්ම ගොඩනැගිලි වැනි භොතික
ද්‍රව්‍ය මගින් අවශෝෂණය කිරීම නිසා පරිසරය
තවදුරටත් රත් කරයි.
මේ නිසා භුමිය, පරිසර තත්ත්ව සහ කාලගුණික තත්ත්ව නිවැරදිව හදුනා ඒ අනුව සංවර්ධන සැලසුම්
විද්‍යාත්මකව සකස් කරන්නේ නම් කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට අපට හැකියාවක් ඇත.
ලෝකයේ බොහෝ රටවල් මෙලෙස විද්‍යාත්මක සංවර්ධන සැලසුම් මගින් මිනිසා හා පරිසරය බද්ධ
කොට ජීවත්වීමට සුවදායි තත්වයන් නිර්මාණය කර තිබේ.
No comments:
Post a Comment