Monday, July 23, 2018

වැව් වදන් විවරණය ( තෙවන කොටස) - රළපනාව


ඔබ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ විශේෂයෙන් මැයි මාසයෙන් පසු සැප්තැම්බර් දක්වා සංචාරය කර වැවක් අසල ටික වෙලාවක් ගත කර තිබේ නම් එය සිහියට නගාගන්න. විශේෂයෙන් පොසොන් සමයේ අනුරාධපුරයේ සංචාරයකර ඇත්නම් මෙය ඔබ නොඅනුමානව අත්විදින්නට ඇත.  මෙම කාලයේ මෙහි වැව් පිසගෙන එන සුළග ඔබට අමතක නොවනු ඇත. වැව් වල ජල තලයේ රළ නැගෙනා අයුරුත් වැකන්ද අසළ සුදු දු‍ඹුරු පෙන පිරී තිබෙනුත් සිහිවෙනු ඇත. මේ සිදුවීම වැවට වැදගත් වන්නේ මෙලෙස නැගෙනා රළ පහරින් වැකන්ද (වැව් බැම්ම) ඉතා තදින් සේදී යාමට ලක්වීමය. මෙය වැවේ ආරක්‍ෂාවට බලපෑමක් ඇති කරනා වැදගත් කරුණක් බව වැව් සැදු අපේ මුතුන්මිත්තන් තේරුම් ගෙන තිබුණි. මේනිසා වැකන්ද (වැව් බැම්ම) සේදීම වැව් බැම්ම දිගට කළුගල් ඇතිරීම මගින් වලක්වාලීමට හැකි බව වටහාගෙන තිබුණි. මෙම ගල් ඇතිරීම වැකන්දේ  (වැව් බැම්මේ) රළපෙන ඇතිවන කොටස ආවරණය කරනා බැවින් මෙය රළපනාව නමින් හදුනවන්නට ඇතිබව සිතිය හැක.

Sunday, July 15, 2018

වැව් වදන් විවරණය (දෙවන කොටස) - එල්ලංගාව


        ගොවිතැන ආරම්බයේ මිනිසා අහස්දිය වගාවක් ලෙස සිදුකරන්නට ඇත. නමුත් වගාවක් සම්පුර්ණ කිරීමට බොහෝවිට වැසි දිය ප්‍රමාණවත් නොවන්නට ඇත. ඉන් පසු ඔවුන් ස්වභාවික ජල මාර්ග (ඇල දොළ ගංගා ) ගොවිතැනට හරවා ජලය සපයන්නට ඇත. මෙම ජල මාර්ග ද පරිසරය මෙන්ම වැසි කාල වල වැඩි ජල ප්‍රමාණයක් රැගෙන යන අතර වියළි කාල වල පරිසරය මෙන් වියලී යන බව අත්දැකින්නට ඇත. මේනිසා වියළි කාල වල වගාවට ජලය ලබාගැනීම මෙම ජල මාර්ග වලින් අසීරු වන බැවින් ජලය වැඩි කාල වලදී  ජලය ගබඩා කල හැකි ක්‍රමයක් සිතන්නට ඇත. මෙහි ප්‍රතිපලය ලෙස ඉතා කුඩා ජලාශ ඉදිවන්නට ඇත. ජනගහන වර්ධනය සමග ආහාර අවශ්‍යතාව සියවස් ගණනක් මුළුලේ වර්ධනයත් තාක්ෂණික දියුණුවත් මානව සංවර්ධනයත් සමගාමීව සිදුවිය. පරිසරය හා බද්ධව දිවිගෙවූ ආදී ශ්‍රී ලාංකිකයා පරිසර හිතකාමී වැව් ගම්මාන ගොඩනගා ඇති ආකාරය ආචාර්ය  පී බී ධර්මසේන විද්වතා ඔහුගේ පර්යේෂණ කෘති මගින් ලොවට හෙළිකර ඇත. මෙලෙස ස්වභාවික දියපහරක් හරස්කර වැවක් සදා පරිසරයට හානිය  අවම  ලෙස ද වැවේ පැවැත්ම ප්‍රශස්තව ද පවත්වාගැනීමට සුදුසු දැණුමින් එදා ගැමියා අදට වඩා පොහොසත් බව මෙයින් කියවේ. ගමේ වැවෙන් අස්වැද්දිය හැකි වූ භුමි ප්‍රමාණය සිමා සහිත වුවත් වැඩිවන ගමේ ජනගහනයට එය ප්‍රමාණවත් නොවිය.  මේ නිසා මෙම ජල මාර්ගයේම ගමේ කූඹුරු යායට පහළින් තවත් වැවක් ගොඩනගා, වැසි කාලයට දැනට පවතින වැව උතුරා ගලන “වාන් ජලය”  සහ කූඹුරු ගොවිතැනේදී බැස යන “වෙල්පහු” ජලය එකතුකිරීමෙන් එම වැවට පහළින් නව බිම් ප්‍රමාණයක් අස්වද්දා ආහාර ප්‍රශ්නය විසදාගන්නට ඇත. මෙලෙස එකම ජලමාර්ගයක ස්ථාන කීපයක වැව් පිහිටීම එදා ගැමියා “එල්ලංග” ලෙස හැදින්විය. රජරට උපන් ශ්‍රී ලංකා මහ බැංකුවේ  පර්යේෂණ අංශ හිටපු ප්‍රධානී ආචාර්ය එම් යු ඒ තෙන්නකෝන් මහතා ඔහුගේ පර්යේෂණ පත්‍රිකාවක එල්ලංගාව මුලින්ම සදහන් කර ඇත. ජලය ගමන්කරනා දිශාව අනුව මේවා පිළිවෙලින් එකිනෙකට සම්බන්ද වේ. 

මේ සදහා යෙදෙන ඉංග්‍රීසි වදන් වන Tank Cascade System (TCS) පර්යේෂණ පත්‍රිකාවන් වල ඉන් පෙර භාවිතා කර තිබුණි. කීර්තිමත් විද්‍යාධරයකු වූ ආචාර්ය  සී ආර් පානබොක්ක මහතා මේ සම්බන්දව විශේෂ අධ්‍යයනයක නිරතව පර්යේෂණ පත්‍රිකාවන් ගණනාවක් එලි දක්වාති අතර එල්ලංගාව වර්ගීකරණය කොට ඇත. එයින් උපුටා ගත් එල්ලංගාවක දළ සටහනක් මෙහි දක්වා ඇත. භාෂාවේ දියුණුවත්, අළුත් වචන භාෂාවට එකතුවීමත් නිසා විවිධ පර්යේෂකයන් මෙය “වැව් පද්ධතිය” “වැව මඩුල්ල” ලෙස ද අද හදුන්වයි. (ලක්දිව වාරි උරුමය - ආචාර්ය්‍ය මුදිත ප්‍රසන්නජිත්)   

       ඔබට ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළහැකි එල්ලංගාවක් A9 ප්‍රධාන මාර්ගය අසල මාර්ගය දිගට පිහිටා ඇත.  මරදන්කඩවල පසුකර අනුරාධපුර දෙසට ගමන් කරනා විට මෙය දැකිය හැක. මෙය නාච්චාදුව වැවට ජලය  සපයන එක් අතු ඇලක පිහිටා ඇති එල්ලංගාවක් (වැව් පද්ධතියක්) වේ. මෙහි වැව් 6 ක් පිහිටා ඇත. ඒවා පිළිවලින් ආරම්බයේ සිට වෙන්ඩොරන්කුලම, බදුගමවැව, බුලන්කුලම, මිගස්සගම වැව, අලිස්තාන වැව සහ තිරප්පනේ වැව යන වැව්  මෙයට අයත්වේ. දෙවන සිතියමෙන් මෙය දැක්වේ. මෙම සිතියම ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ පර්යේෂණ වාර්තා 48න් උපුටා ගන්නා ලදී.
     

 එල්ලංගාව යන වදන පිළිබදව විවිධ ප්‍රදේශ වල ගොවිමහතුන් ගෙන් විමසා බැලීමේදී මැදවච්චිය, හොරොව්පතාන, ගලෙන්බිඳුනුවැව, තිරප්පනේ වැනි ප්‍රදේශ යම් ප්‍රමානයකට පැරණි ගොවිමහතුන් දැන සිටියත්, එල්ලංගාව යන වදනට වඩා "වැව පද්ධතියක්" යන වදන වර්තමාන ගොවිමහතුන් වැඩි දෙනෙක් දන්නා බව පසක් විය.

     එල්ලංගාව යන වචනය උඩ වැවේ සිට ඊළග වැවට ඊළග වැවට ලෙස  “ ඊළග, ඊළග, ඊළග, ඊළග” යන වදන්  එක පෙලට කියවීමේදී    "එල්ලංගා" යන පැරණි වචනය භාවිතයෙන් නිර්මාණය වී ඇති බව සිතිය හැක.

මේ සම්බන්දව ඔබගේ අදහස මෙය පරිශීලනය කරන්නන් ගේ දැනුම සදහා ඉතා අගයමි. 

Tuesday, July 10, 2018

වැව් වදන් විවරණය (පළමු කොටස )



ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ (උතුරුමැද, ඌව සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ) ජල කළමනාකරණයට සම්බන්දව පර්යේෂණ කටයුතු සිදුකරන්නා විට වාරි භාෂාව හෙවත් වැව බස අසන්නට ලැබුණි. එමෙන් ම  මේ සම්බන්දව ලියවී ඇති බොහෝ පොත පතේ මෙන්ම පර්යේෂණ ලිපිවල ද මෙම වචන දකින්නට ලැබේ. ආචාර්ය එම් යු ඒ තෙන්නකෝන් මහතා “එල්ලංගාව” යන ගැමි වදන පර්යේෂණ ලිපියක ඇතුලත් කිරීමත් සමග ආචාර්ය සී එම්  මද්දුමබණ්ඩාර,  විශේෂයෙන් ආචාර්ය පී බී ධර්මසේන, ආචාර්ය මුදිත ප්‍රසන්නජිත් සහ අනකුත් විද්වතුන් අපේ පැරණි විශිෂ්ඨ වාරි තාක්ෂණය ලෙවට නිරාවරණය කිරීමට එදා භාවිතා වූත්, අද සමාජයෙන් දුරස්වුත් එම වචන නැවත සමාජ ගතකිරීමක් සිදුවිය.  සමහර විට මෙම සමහර වචන ප්‍රාදේශීය ලෙස ද පැරණි වැව් ගම්මාන වල භාවිතා වී තිබුනත්  බොහෝදුරට අද සමාජයේ භාවිතයෙන් ඉවත්වී ඇත. එනමුත් මාගේ විමර්ශනයන්ට අනුව මෙහි නියම තේරුම මෙම වචන තුලම ගොනුවී ඇත. භාවිතයෙන් හැඩගැසුණු වචන බැවින් විවරණයන් සටහන් කර තැබීම වැදගත් යයි සිතමි.
මාහට මෙම වචන විවරණය මගපෑදූ සිදුවීම සටහන් කරනු වටී. 1987 වර්ෂයේ අප මහවැලි එච් කලාපයේ ජල මිනුම් පර්යේෂණ කටයුතු වල නිරතවී සිටිනා අවස්ථාවේ කලාවැව පැරණි සොරොව්වේ පිහිටි ජල මාපකයේ මිනුම් ගැනීමට ගොස් සිටියෙමු.  මෙම ස්ථානයට විදේශීය සංචාරකයන් පිරිසක් සමග දේශීය සංචාරක මග පෙන්වන්නෙකු පැමිණියේය. අප සිදුකරනා කටයුතු දෙස බලාසිටි ඔවුන් දේශීය මග පෙන්වන්නා ගේ විස්තරයට යොමුවිය. කලාවැවේ පැරණි ගලෙන් බැදී පැරණි සොරොව්ව බිසෝකොටුව බවත් පෙර රජවරු වැවේ ආරක්ෂාවට බිසෝවරු මෙහි ගිල්වා මැරූ නිසා මෙම නිමැවුම බිසෝකොටුව ( ඔහුගේ වචනයෙන් “Queen’s square”) ලෙස හදුන්වන බව පැවසිය. එය වැව සැදු වහාම පළමු ජලමුරය නිකුත් කිරීම සමග සිදුකරනා බවත් සදහන් කරනා ලදී. එම විදේශිකයන් අතර සිටි එක් කාන්තාවක් මෙය ඉතා මිලේච්ඡ ක්‍රියාවක් බවත් මෙවැනි බිලිපුජා ඇය අසා ඇති බවත් පුරාණ ලතින් ඇමෙරිකානු රටවල මෙවැනි ක්‍රියා සුලබ බවත් පැවසිය.  මම වහාම මැදිහත්වී දේශීය මග පෙන්වන්නා ගේ ප්‍රකාශය නිවැරදි කරමින් මෙය සොරොව් නිර්මිතයක් (Sluice structure) බවත් මෙය බිසෝකොටුව ලෙස හදින්වීම වැරදි බව කිවේය. මෙහි කාර්ය වැවේ ජලය පාලනයක් සහිතව වැවෙන් පිටකිරීම බව සදහන් කළේය. බිසෝවරු මෙහි ගිල්වා මරා ඇති බවක් කිසිවිටකත් අප ඉතිහාසයේ සදහන්ව නැති බවත් දැන්විය. අපට විශිෂ්ඨ වාරි ඉතිහාසයක් ඇති බවත් කලාවැවේ සිට අනුරාධපුර පිහිටි නුවර වැව දක්වා පැරණි යෝධ ඇල සැතපුමට අඩියක් ලෙස බැස්ම තබා නිමවා ඇති බවය.  නව සංවර්ධනය යටතේ නිමවූ නව ජය ගග නවීන තාක්ෂණික උපකරණ උපයෝගීකරගෙන කැපීමේදී  බොහෝ ස්ථාන වල සැලසුම් මාර්ගය සම්පුර්ණයෙන් වෙනස්කර පැරණි යෝධ ඇලට සම්බන්ද කිරීමට සිදුවූ බවත් ඒ හැර වෙනත් මාර්ගයක් නොතිබූ බැවින් පෙර දවසේ අපගේ මුතුන්මිත්තන්ගේ තාක්ෂණය ඒ දවස කෙතරම් උසස් දැයි සිතන ලෙසත් ප්‍රකාශ කළේය.
ඔබ විදේශිකයන් සමග කටයුතු කරනා අයෙක් නම් කරුණාකර අපේ ඉතිහාසය හා සම්බන්දව සත්‍ය තොරතුරු සැමවිටම ඔවුන් වෙත ලබා දෙන්න. ඉතිහාසඥයන් සහ විද්වතුන් ලියා ඇති ලිපි මගින් මෙම තොරතුරු බොහෝදුරට පහසුවෙන් අන්තර්ජාල යෙන් ලබාගත හැක.    
මෙම වාරි වදන් ගැන මාගේ කුතුහලය සහ අවධානය යොමුවීමේ ප්‍රතිඵලය මෙලෙස එලි දැක්විය හැක.
බිසෝකොටුව / සොරොව්ව (හොරොව්ව ) Sluice
ඉතිහාසඥයන් සහ විද්වතුන් බිසෝකොටුවේ කාර්ය්‍ය විවිධාකාර ලෙස විග්‍රහ කර ඇත. බිසෝකොටුව වැව් බැම්මෙන් වැව තුලට  (ජලය පවතින කොටසට) වන්නට පිහිටියේද වැව් බැම්මෙන් පිටතට (ගොඩ දෙසට) පිහිටියේද එසේ නොමැතිනම් මේ කොටස් දෙකම (සොරොව්ව සහිතව වැව තුල පිහිටි කොටස ද )යන්න පැහැදිළි කර නොමැත.  (උපුටා ගැනීම:   විකිපීඩියා, නිදහස් විශ්වකෝෂ)  බිසෝකොටුව වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චූල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.


1.        වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්
2.        ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්
3.        ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය”මොහොල”නම්වේ.
පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි
මේ අනුව මාගේ අදහසනම් සමස්ථ පද්ධතියම බිසෝකොටුව ලෙස දැක්විය හැක. 
ක්‍රිස්තු පුර්ව 3 වන සියවසේ  (අදින් වසර 2300 පමණ පෙර) සැදු  රුහුණේ පිහිටි ඌරුසිටා වැවේ බිසෝකොටුවේ මා විසින් ලබාගත් ජායාරුපයක් පහත දැක්වේ.
මෙය වැවෙන් පිටතින් පිහිටා ඇති බව පෙනේ. ඌරුසිටා වැව අදත් පසුබිමෙන් පෙනෙනා ගස් වලට එපිටින් පිහිටා ඇත. පැරණි ප්‍රධාන ඇලට නව සොරොව්වක් මගින් ජලය ලබාදෙයි. වැඩි ජල ධාරිත්වක් රදවාගත හැකි ලෙස වැව් බැම්ම නවීනිකරණය කර ඇත. පැරණි සොරොව්ව දක්නට නොමැත. නටබුන් වල පිහිටීම අනුව වැව් බැම්ම වක්‍ර සහිතව පිහිටා තිබු බව පෙනේ. මධ්‍ය ප්‍රමාණ අපේ පැරණි වැව් වල ස්වභාවික භුමි පිහිටීම් මත වක්‍ර සහිත වැව් බැමි දැකිය හැකිය. නමුත් නවීන තාක්ෂණය අනුව පස් බැමි (වැව් බැම්ම) සෘජුව ගොඩනගයි.

විශිෂ්ඨ පුරාවිද්‍යාඥයකුවූ සෙනරත් පරණවිතාන මහතාට අනුව බිසෝකොටුවේ කාර්ය්‍ය වැව තුල සිට පිටතට ගලනා ජලයේ සැඬ බව පාලනය මම ද  පිලිගනිමි.
 අද නිමවන මහා වාරි ව්‍යාපෘති වල ද ප්‍රධාන ඇල ආරම්බයේ ජලයේ පිටවන වේගය අනුව ඉවුරු ඛාදනය වලක්වා ගැනීම සදහා  ප්‍රමාණවත් දුරකට කොන්ක්‍රීට් බැමි යොදයි.

බොහෝ වාරි නටබුන් වල ඉතිරිව ඇත්තේ වැව බැම්මෙන් පිටත පිහිටි ප්‍රධාන ඇල මුල කොටස් පමණි. එදවස වාරි කර්මාන්තයක් අලුතෙන් පිහිටුවීමේදී වැව තුල පිහිටි සොරොව් කොටසේ නිදන් වස්තුන් තැන්පත් කරනා බවට පැතිර ඇති මිත්‍යා කතා නිසා මෙම කොටස් නිදන් සොරුන්ගේ ක්‍රියාවන් වලින් විනාශ වන්නට ඇත.
විශාල කළුගලින් ඉතා සියුම් ලෙස එකිනෙකට හොදින් සම්බන්ද වී පවත්නා ලෙස මෙම පැරණි වාරි නටබුන් ඔපමට්ටම් කර සාදා ඇති බව දෑකිය හැක. මේ සදහා දියුණු යකඩ උපකරණ එදවස තිබෙන්නට ඇත. එමෙන්ම විශාල ගල් කුට්ටි එකිනෙක මතට උස්සා තැබිමට යම් උපකරණ නිපදවන්නට ඇත. මානව වංශ කතාවේ මේ අවදිය ලොව පුරා විවිධ ප්‍රදේශ අපේ මෙන් ඉතා දියුණු සංස්කෘතින් පැවතී බවට නටබුන් සාධක ඇත. මේ නිසා අප මේ කථාකරනා ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණයට ද යකඩ මෙවලම් හා උපකරණ යොදාගන්නට ඇත. ගලින් තැනු බිසෝකොටු / සොරොව් කාණු අදත් දැකිය හැකිවුවත් වැවෙන් පිටකරනා ජලය පාලනය කල ආකාර පැහැදිළිව දැකිය නොහැක. මෙයට හේතුවී ඇත්තේ අද මෙන් මෙම කොටස් යකඩෙන් තනා භාවිතා කිරීමත් කාලයා සමග ඒවා දිරා ගොස් පසට එකතුවී එම සලකුණු  මැකීයාමය.  
            මෙම ලිපියේ මුලික අරමුණ වූයේ විශාල වැවක ජලය ඉන් පිටතට ගන්නා ඇටවුම බිසෝකොටුව ලෙස හැදින්වූයේ ඇයි ද යන්නය. මෙහිදී මාගේ අදහස වන්නේ මෙය ජල  “බැස්සුම් කොටුව” ලෙස ආරම්භයේ හදුන්වා පසුව එය “බිසෝකොටුව” ලෙස එදිනෙදා භාවිතයෙන් පරිවර්තනය වූ බවය. සිංහල භාෂාවේ මෙවැනි වදන් බොහෝ දෑකිය හැක.
මෙලස අනෙකුත් පැරණි වැව් වදන් විවරණයට මා   බලාපොරොත්තුවන  බැවින් ඔබගේ ප්‍රතිචාර හා නිවැරදිකිරීම් මෙය පරිශීලනය කරන්නන් ගේ දැනුම සදහා ඉතා අගය කරමි.

Saturday, July 7, 2018

අහිතකර කාලගුණික තත්වයන්ට මුහුණ දීමට අපට හැකියාවක් නැති ද?



නියඟය සහ ගංවතුර අපේ ජන ජීවිතයට නිරන්තරයෙන් බලපෑම් ඇති කරනා ස්වාභාවික සංසිද්ධි දෙකකි.  වර්තමානයේ මාස කීපයක් වැසි ජලය නො ලැබුණ හොත්  නියඟය ලෙස ද පමණට වඩා වැඩියෙන් වැසි ලැබී ජලය, දෙ ගොඩ  තලා පහත් බිම් ප්‍රදේශ යට කරමින් ගලා යාමේ දී ගංවතුර ලෙස ද අර්ථකථනය කරුණු ලබයි. මෙම අහිතකර කාලගුණික තත්ව දෙක අතර ඇති ප්‍රධාන වෙනස එම තත්ව ඇතිවීමට ගත වන කාල පරාසයයි. නියඟය ක්ෂණික සංසිද්ධියක් නොවේ. නියඟ තත්වයක්  ඇතිවීමට මාස කීපයක් වැසි නො ලැබී පොළොව මතුපිට පස් ස්තර වියළී යා යුතු ය. මේ නිසා නියං තත්වයක්  ඇතිවීම නිතිපතා කාලගුණික පරාමිතික විමර්ශනයෙන් කල් තියා හඳුනා ගත හැක. ගංවතුර ඇතිවීම මීට හාත්පසින් ම වෙනස් කාල පරාසයක සිදු වේ. ධාරානිපාත වැසි ලැබුණ හොත්  ක්‍ෂණිකව ගංවතුර ඇති වේ.  මෙම පාරිසරික වෙනස් වීම් අපේ මුතුන්මිත්තන් සුළං දිසාවේ හැසිරීම වලාකුළු සහ සතුන් ගේ හැසිරීම් රටා පිළිබඳ පාරම්පරික ව ගොඩනගා ගත් දැනුම මත පරිසරය පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සිට එය නිවැරදි ලෙස විශ්ලේෂණය කිරීම මගින් ආපදාවන්ගෙන් බේරිසිටීමට සමත් විය.  අද ඇති ඉහළ දියුණු තාක්ෂණික උපකරණ මගින් වැසි ඇතිවීම සහ ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දිය හැක.  මෙම තොරතුරු ද දිනපතා විමර්ෂණ  හා විශ්ලේෂණ මගින් අනාගතය පිළිබඳ පුරෝකථනයන් කල හැක.   
මෙම ස්වාභාවික සංසිද්ධි දෙක ඉතිහාසය පුරාම තාවකාලික ස්වරූපයෙන්, ප්‍රාදේශීය වශයෙන්  සුළු හෝ ප්‍රබල ලෙස සිදු වී ඇති බව අතීතය විමසා බැලීමේ දී පෙනී යයි.   අදට සාපේක්‍ෂව විද්‍යාව අතින් නො දියුණු  එදා ද නියඟය නිසා ශ්‍රී ලංකාවේ දී මිනිස් ජීවිත හානි වී ඇති බවට කිසිදු වාර්තාවක් සොයා ගත නො හැකි විය. මෑත කාලයේ වන හා ගෘහාශ්‍රිත නිදැලි  සත්ව මරණ කීපයක් පිළිබඳ වාර්තා වන් දැක ගත හැකි වුවත් එම සතුන් ද මිනිස් ක්‍රියාකාරකම් නිසා පටු බිම් කඩ වලට කොටුවීමෙන්  සතුන්ගේ නිදහස් සංචරනයට බාදා නිසා සිදුවුවන්ය. සතුන්ට කාලගුණික තත්වයන් පිළිබඳ සහජ දැනීමක් පවතී. මේ නිසා අහිතකර කාලගුණික තත්වයක් විශේෂයෙන් නියඟය ඇතිවීමට පෙර එම ප්‍රදේශ වලින් ඉවත් වීමට එම සතුන් ක්‍රියා කරයි.   අප්‍රිකානු ප්‍රදේශයේ අදත් මෙම තත්වය දැකීමට පුළුවනි.  
ශ්‍රී ලංකා වාසි අපට ස්වාභාවික ව ජලය ලැබෙන්නේ වර්ෂාවෙන් පමණි. වර්ෂාව හිරු ගේ ගමන් මග නිසා ඇති වන ගෝලීය සුළං ප්‍රවාහයන් මගින් හසුරුවනු ලබයි. මේ නිසා අපගේ මුතුන්මිත්තන් සුළං ප්‍රවාහයන් හැසිරීම පරිසර නිරීක්ෂණය මගින් හදුනාගෙන වැසි ඇතිවීම් පිළිබඳ නිවැරදි පුරෝකථනයන් කිරීමට සමත් විය.  එදා පැවති බාහිර ලෝකය හා අඩු සම්බන්ධතාවය  සහ ගමට ම සීමා වූ ඔවුන්ගේ ලෝකය තුල ජීවනොපාය පිළිබඳ තීරණ ගැනීම ඔවුන් විසින් ම සිදු කළ යුතු විය.  එය ඔවුන් ගේ ජීවන රටාවේ වඩාත් තීරණාත්මක අවස්ථාවක් විය. ගොවිතැන සදහා ඔවුන් සතු සීමිත බීජ ප්‍රමාණය වැරදි තීරණ මත විනාශ වුවහොත් ඊලග කන්නය වගා කිරීමට බීජ නොමැති වේ. අද මෙන් වෙළදපොලෙන් හෝ වෙනත් තැන් වලින් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් විය.  මේ නිසා ඔවුන්ගේ ජීවන රටාවේ අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස පරිසර නිරීක්ෂණයන් ද ඒ සම්බන්ධව වැඩිහිටියන් හා සාකච්ඡා කිරීම් නිරන්තරයෙන් සිදුවිය. මේ මගින් එම සමාජයේ සියලු දෙනා දැනුවත් වූ අතර ඊට මුහුණදීමට සියලුම දෙනා සූදානම් විය.   
එදා කෘෂිකාර්මික හා සත්වපාලනය මුලික ජීවන රටාවක් මත දිවිගෙවූ ඔවුන් අද මෙන් නොව සෑම කටයුත්තක දීම  පරිසරය මුල් තැනෙහි ලා කටයුතු කළහ. නව ගම්මාන ඇති කිරීමේ දී (වාස භූමි තේරීමේ දී) සහ වගා බිම් ඇති කිරීමේ දී  වසර පුරා ජල සුලබතාවට ප්‍රමුඛත් වය ලබා දෙන ලදහ. එම බිම් ගංවතුරට යට වේ ද පෑවිලි කාලයේ බීමට සහ වගාවට ප්‍රමාණවත් ජලය නොමැති වේද යන්න මූලික කරුණ ලෙස සලකන ලදී.  ස්වභාවික භූමි පිහිටීම එලෙස ම පවත්වා ගනිමින් ජල මාර්ග අවහිර  නොකරමින් වාස භූමි ඇතිකළහ. අද මෙන් අවිචාරවත් ලෙස මෙම මුලික කරුණු නොසලකා ගොඩනැගිලි ඉදිකිරීම් පදිංචිය හා සංවර්ධනය සිදු නො කළහ.  භූමියේ චිරස්ථිතියට ප්‍රමුඛත්වය ලබා දෙමින් සියලු කටයුතු සිදු කළහ.
           විදේශිය ආක්‍රමණිකයන් සමග පැමිණි බටහිර චින්තනය මෙහි පැවති මෙම පාරම්පරික දැනුම සහ ඒ හා බැදුණු සාරධර්ම සම්පුර්ණයෙන් ම වෙනස් කර ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසුව සදහා ජනාවාස පිහිට වූ අතර ජලය සැපයීම සහ කසල බැහැර කිරීම් සදහා යටත් වැසියන් සේවයේ යොදවා ගන්නා ලදහ.  මේ සදහා ජලසම්පාදන සේවා  කණ්ඩායම් හා කසල ශෝධන සේවා  කණ්ඩායම් ඇති කළ අතර ජනාවාසකරණයේ දී පැරණි සම්ප්‍රදායත් සම්පුර්ණයෙන් ම බැහැර කරනා ලදී. ගමනාගමනය පහසුව සදහා මාර්ග පද්ධති ඉදිකළ අතර ස්වභාවික භූමි පිහිටීම නොසලකා කුඩා ජල මාර්ග අහුරමින් මෙම ඉදිකිරීම්  කටයුතු  සිදුවිය. ඔවුන්ගේ සහයට පාලන කටයුතුවලට හවුල් වූ මෙරට ප්‍රභූ පැලැන්තිය ද එම ක්‍රම අනුගමනය  කල අතර ගමන් පහසුව හා ඇතිවෙමින් යන සේවා සැපයුම් ක්‍ෂේත්‍රයන් මුලික කර මහාමාර්ග දෙපස පදිංචිය ඇතිවිය.  
ජනගහණ වර්ධනය සමග  ඇතිවන ඉඩම් සීමකාරිත්වය, සේවා සැපයුම් ලබාගැනීමේ පහසුව මූලික කර පහසුවෙන් අත්පත් කර ගත හැකි වූ ඕනෑම ස්ථානයක පදිංචියට අද ජනයා හුරු වී ඇත. දශක පනහක පමණ කාලයක සිට සැලසුම් කරණයෙන් තොර ව ලංකාවේ සිදු වූ මෙම නාගරීකරණය ස්වාභාවික පරිසරය සමග බද්ද නො වීම නිසා සුළු කාලගුණික වෙනස් වීම් පවා දැඩි ආර්ථික හා ජීවිත හානි ඇති කරනා තත්වයන්ට වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කාලගුණික තත්වය
ශ්‍රී ලංකාවේ අප මෝසම් කාල සීමා දෙකක් සහ අන්තර් මෝසම් කාල දෙකක් වසර පුරා අත්විඳිනා බව අතීත  කාලගුණික තත්වය විමසීමේ දී පෙනීයයි. මෝසම් තත්වයන් ගෝලීය සුළං ප්‍රවාහයන් අනුව සිදුවන අතර  අන්තර් මෝසම් තත්වයන් ප්‍රාදේශීය සුළං ප්‍රවාහයන් හටගැනීම මත සිදුවේ.
ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වය විග්‍රහ කිරීමේ දී ලෝකයේ එහි පිහිටීම හා ‍  භූ විෂමතාවය ඉතා වැදගත් වේ. පෘතුවි තලය මත ඉන්දීය මහාද්වීපයට පහළින් ඉන්දියන් සාගරයේ දූපතක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත වී ඇත.  


මේ නිසා අපට ජලය ලැබෙනා එකම මග වර්ෂාව පමණි.  වර්ෂාව ඇති කරනා තෙතමනය සහිත සුළං ධාරා අප රට මතින් මේ සදහා ගමන් කල යුතු ය. වර්ෂය පුරා හිරු ගේ ගමන් මග සුළං ධාරාවන් ඇති කිරීමට හේතුවේ. හිරු වටා පෘතුවියේ බ්‍රමණ තලය ඇලයට පිහිටීම නිසා හිරු ගේ පිහිටීම වර්ෂය තුල කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර දෝලනය වන ආකාරයක් අපට දැනේ. හිරු දෝලනය වන මධ්‍යස්ථ රේඛාව ලෙස සමකය දක්වයි.  ශ්‍රී ලංකාව සමකයට අංශක 5055’ – 90 51’ ක් ද උතුරෙන් දේශාංශ  790 42’ - 810 55’ නැගෙනහිර අතර නිවර්තන කලාපයේ  පිහිටීම නිසා වර්ෂය පුරා හිරු රැස් තදින් පතිත වේ.  උල් තුඩක් හැඩති ඉන්දීය බූමි තලය නිසා ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටි මහා සාගරය ඊසාන දෙසින් බෙංගාල බොක්ක ලෙස ද වයඹ දෙසින් පර්සියන් බොක්ක (අරාබි මුහුද) ලෙස ද නිර්මාණය වී ඇත. පකිස්ථානයෙන් ආරම්භ වී ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ සිට නේපාලය භූතානය හරහා චීනය දක්වා දිවෙන හිමාලය කදු වැටිය බෙංගාල බොක්කට ඉහලින් තැනු තාප්පයක් මෙන් පිහිටීම නිසා නිවර්තන කලාපයේ හටගන්නා මෝසම් සුළං බෙංගාල බොක්කේ සිට ශ්‍රී ලංකාව මතින් පර්සියන් බොක්ක (අරාබි මුහුද) දෙසට ගමන් ගනී. මෙය ඊසාන දිග මෝසම් සුළඟ ලෙස හදුන්වයි.  සාමාන්‍යයෙන් දෙසැම්බර් මස සිට පෙබරවාරි මාසය දක්වා මෙම සුළං පවතී. මීට ප්‍රතිවිරුද්ධ දෙසට, එනම් නිරිත දිග සිට ඊසාන දෙසට (පර්සියන් බොක්ක (අරාබි මුහුද) දෙසට  සිට බෙංගාල බොක්ක දෙසට) ගෝලීය සුළං තත්වයක් මැයි මස සිට සැප්තැම්බර්  මස දක්වා පවතී. මෙය නිරිතදිග මෝසම් සුළං කාලය ලෙස දක්වයි.
          මෙම මෝසම් කාල සීමාවන් අතර කාලය අන්තර් මෝසම් කාල ලෙස දක්වන අතර  ශ්‍රී ලංකාවට පතිත වන හිරුරැස් වලින් ගොඩබිම රත් වීම නිසා ඊට ඉහළින් ඇති වාතයේ සංවහන සුළං ධාරා මගින් ඇතිවන වායුගෝලය කැලඹීම් හේතුවෙන් මුහුදේ සිට ගොඩබිම දෙසට සවස් කාලයේ සුළං ඇතිවේ. මෙම සුළං ජල වාෂ්ප වලින් පොහොසත් වන්නේ නම් ප්‍රාදේශීය වශයෙන් වැසි ඇති කරයි.  ප්‍රථම අන්තර් මෝසම් කාලය මාර්තු  අප්‍රේල් කාලසීමාවේ ඇති වන අතර දෙවන අන්තර් මෝසම් කාලය ඔක්තෝබර්  නොවෙම්බර් කාල සීමාවෙ දී හටගනී. මීට අමතරව බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවන අඩු පීඩන අවපාතයන් නිසා වායුගෝලයේ සිදුවන කැලඹීම් මගින්  වැසි කුණාටු ඇති කරයි. මේවා අහබු ලෙස සිදුවන බැවින් දියුණු කාලගුණ විද්‍යා උපකරණ නිරන්තර නිරීක්ෂණ මගින් හදුනාගත හැක. මෙහිදී පීඩන අවපාතයේ ප්‍රබලත්වය, දිශානතිය හා ගමන්මග හදුනාගෙන බලපෑම් ඇතිවන කලාපයට අනතුරු ඇඟවීම් කල්තියා සිදුකළ හැක.  
අප රටට අපේම කාලගුණික චන්ද්‍රිකාවක් ගුවන් ගතකර පවත්වාගෙන යාමට තරම් වත්කමක් නැත.  දියුණු රටවල් ගුවන්ගතකර ඇති කාලගුණික චන්ද්‍රිකා මගින් රැස්කරනා දත්ත නිරන්තරයෙන් එම මධ්‍යස්ථාන වෙත ලබා දෙන බැවින් ඕනෑම අයෙකුට නියමිත මුදල් ගෙවීමෙන් එම සේවා වන් ලබාගත හැක.  මෙය එතරම් විශාල මුදලක් නොවේ.
මුදල් ගෙවා දිනපතා දත්ත ලබාගැනීම මුදල් අපතේයාමක් ලෙස කාලගුණික විපත් සිදු නොවෙනා කාල වල දී කෙනෙකුට හැගුණත්, එක් කාලගුණ විපතකින්  සිදු වන හානිය නිවැරදිව ගණනය කළහොත් ඊට වඩා ඉතා ඉහළ අගයක් ගනී.  මේ නිසා රාජ්‍ය මුදල් මේ සදහා යෙදවීම හා එම දත්තයන් නිවැරදි ලෙස විශ්ලේෂණය  හා පුරෝකථනය මගින් අපට මෙම හානි අවම කර ගත හැක.

ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය 

සරලව දක්වතොත් ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතන අගයන්ට අනුව ප්‍රධාන වර්ෂාපතන කලාප  තුනක් හදුනාගත හැක.  


ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය ( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අන්තර්ජාල පිටුවෙන්)

කලාප 1:    වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 1000 හෝ ඊට අඩු ප්‍රදේශ
කලාප 2:    වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 1000 ට වැඩි සහ  මිලි මීටර් 2000 හෝ ඊට අඩු ප්‍රදේශ
කලාප 3:    වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 2000 ට වැඩි ප්‍රදේශ

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අන්තර්ජාල පිටුවේ  ඉහත දක්වා ඇති වාර්ෂික වර්ෂාපතන සිතියම දක්වා ඇත.  මේ අනුව ශ්‍රී ලංකාවේ අඩුම වාර්ෂික වර්ෂාපතන ප්‍රදේශ ලෙස කලාප 1 ට අයත් වන්නේ ගිණිකොන දිශාවේ පිහිටි හම්බන්තොට ප්‍රදේශයත් වයබ දිශාවේ පිහිටි පුත්තලම - මන්නාරම  ප්‍රදේශයත්  පමණි. මේ ප්‍රදේශ වෙරළාසන්න තැනිතලා ප්‍රදේශ ලෙස දක්වයි. ශ්‍රී ලංකාවේ අප මෙම ප්‍රදේශ ශුෂ්ක ප්‍රදේශ ලෙස හදුන්වන්නේ අඩු වර්ෂාපතනය, වැඩි උෂ්ණත්වය, වැඩි වාෂ්පීකරණය හා පාංශු ගුණාංග නිසා පරිසරයේ ශුෂ්ක රූපී ලක්ෂණයන්ගෙන් යුතු ශාක ප්‍රජාව හේතුවෙනි. මෙය එකම දිශා රේකාව  දෙකොනේ ( වයබ හා ගිණිකොණ ) පිහිටි අනෙක් කලාප හා සැසදීමේදී කුඩා ප්‍රදේශයකි.  ඉන්දියාවේ වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 400 ට බොහෝ ප්‍රදේශ පැවතියත් ඒවා ශුෂ්ක ප්‍රදේශ ලෙස නො සලකයි.  
          කාලගුණික කලාප 2 ලෙස සලකන්නේ වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 1000 ත් 2000 අතර ප්‍රමාණයක් ලැබෙනා ප්‍රදේශයන්ය. මෙයට ශ්‍රී ලංකාවේ උතුර, උතුරුමැද, වයබ , ඊසාන, නැගෙනහිර සහ ගිණිකොන තැනිතලා ප්‍රදේශ සහ මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ අයත් වේ. මෙම කලාපය වඩාත් පැතිරුණු විශාලම කලාපය වේ. නිවර්තන ලක්ෂණ සහිත ශාක ප්‍රජාවක් සහිතය. පොදුවේ මෙම කාලගුණික කලාප 2 ට අයත් ප්‍රදේශ ශ්‍රී ලංකාවේ වියළි කලාපය ලෙස හඳුන්වයි.  
                කාලගුණික කලාප 3 ලෙස සලකන්නේ වර්ෂාපතනයේ වාර්ෂික අගය මිලි මීටර් 2000 ට වැඩි  ප්‍රමාණයක් ලැබෙනා ප්‍රදේශයන්ය. මෙයට ශ්‍රී ලංකාවේ බස්නාහිර හා දකුණු පළාත් ද මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ අයත් වේ. මෙහි ශාක ප්‍රජාව නිවර්තන වැසිවනාන්තර ලක්ෂණ දක්වයි. මෙම කාලගුණික කලාප 2 ට අයත් ප්‍රදේශ ශ්‍රී ලංකාවේ තෙත් කලාපය ලෙස හඳුන්වයි.  ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ගංගාවන් ඇරඹෙන්නේ මෙම කලාපයෙනි. මෙම ගංගා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හැර අනෙක් සියලු ප්‍රදේශ ආවරණය කරණු ලබන අතර එම ප්‍රදේශ වල ජල සුලබතාවයට, විශේෂයෙන්  භූගත  ජල සුලබතාවයට ඉහළ දායකත්වයක් ලබා දෙයි. මහවැලි, කැලණි, කළු, නිල්වලා සහ වලවේ ගංගා මෙසේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මධ්‍යම කදුකරයෙන් ආරම්භ වි සතර දිසාවට ගලා බසී.    
          ශ්‍රී ලාංකික ව්‍යවහාර භාෂා නාමාවලියේ ජල මාර්ග හැදින්වීමෙ දී ගංගා ලෙස නාමකරණය කර ඇත්තේ වසර මුළුල්ලේ ජලය ගලනා ජල මාර්ග සදහා ය. වසරේ යම් කාලයක සම්පුර්ණයෙන් වියළී යන, වැසි කාලයේ  විශාල ජල කදක් රැගෙන යන ජල මාර්ග ඔය ලෙස ද ඊට  ප්‍රමාණයෙන් කුඩා ජල මාර්ග ඇල හෝ දොල ලෙස ද හඳුන්වා ඇත.  
ශ්‍රී ලංකාව සමස්තයක් ලෙස ගත් කල අනෙක් රටවල් හා සැසදීමේ දී අධික වර්ෂාපතනයක් ලැබෙනා අතර භූමි ප්‍රමාණයෙන් කුඩාය. මෙසේ ස්වභාවිකව ලැබෙනා ජලය යම් ප්‍රමාණයක් පස මගින් රඳවා ගන්න අතර වැඩි ප්‍රමාණයක් ගංගා හා ඔය මගින් මුහුදට ගලා බසී.  
          කාලගුණික කලාප 2 හෙවත් වියළි කලාපයට වැඩි වර්ෂාවක්  ලැබෙන්නේ වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිට ජනවාරි දක්වා මහ කන්නය තුලය.   
          කාලගුණික කලාප 3 හෙවත් තෙත් කලාපයේ වර්ෂාපතනය බොහෝ දුරට වර්ෂය පුරාවට  පැතිරී පවතින බැවින් ජල මාර්ග වලට නිරන්තරයෙන් ජලය එකතුවෙයි. එමෙන්ම පස ද තෙත් බවින් යුතු අතර පස තුල භූගත ජල තට්ටුවක් පවතී. වර්ෂාව නොමැති කාලවල දී පවා  පසේ මෙම ජලය ක්‍රමක්ක්‍රමයෙන් ජල මාර්ග වලට එකතුවීම මගින් වියළි කාලයේ දී ගංගා වල අවම ජල ධාරාවක් ගලා යයි. මේ නිසා කදුකර ජල පෝෂක ප්‍රදේශ වල කාබනික ද්‍රව්‍ය බහුල ගැඹුරු පසක් පවතී නම් වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගත හැකිවන අතර ජල මාර්ග වලට වැඩි කාල පරාසයක් තුල සෙමින් සෙමින් ජලය එකතුවීම සිදුවේ.  
            ජනගහණ වර්ධනය සමග ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සහ නිවාස සදහා වනාන්තර හෙලි පෙහෙළි කිරීම සමග  ස්වභාවික වනයකින් පසට එකතුවන  කාබනික ද්‍රව්‍ය නොලැබීම නිසා පසේ ජල ධාරිතාව ඉතා අඩු අගයකට පත්වේ. එමෙන්ම පංශු ඛාදනයට වර්ධනය වීමෙන් පසේ ගැඹුර අඩු වී ජලාශ සහ ජල මාර්ග ගොඩවීම සිදුවේ. මේ නිසා ගොඩබිම තුල රදවාගත හැකි වැසි ජලය වැඩි ප්‍රමාණයක් කෙටි කාලයක් තුල ජල බස්නා මාර්ග මගින් මුහුදට ගලා යයි.
              ජනගහණ වර්ධනය සමග ඊට සරිලන සේ නිවාස සහ ගොඩනැගිලි, මහාමාර්ග ආදිය සංවර්ධනය කල යුතුය. මේ නිසා පස මතුපිට වැසි ජලය පසට ඇතුළුවීමට ඇති ස්වභාවික අවකාශ වැසී යයි. කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හා තදාසන්න නාගරික ප්‍රදේශ වල 80% වඩා  ස්වභාවික පස මතුපිට ආවරණය වී ඇත. මේ නිසා වැසි ජලය වැඩි ප්‍රමාණයක් පසට උරාගැනිමට නොහැකිව මතුපිට ගලායාම නිසා පවතින කාණු සහ බස්නා පද්ධති ප්‍රමාණවත් නොවීම මගින් උතුරා පිටාර ගලයි. මීට අමතරව ස්වභාවික ජල බස්නා මාර්ග හා ආශ්‍රීත ස්වභාවික පහත් බිම් ප්‍රදේශ ගොඩකිරීම මගින් ජලය හා බැදුණු අවාසි දෙකක් සිදුවේ.
·        ජල මාර්ග වලින් ස්වභාවිකව ජලය බැස යාමට ප්‍රථම මෙම පහත් බිම් ප්‍රදේශ වලට රැස් වෙයි. ඒ අතරම රැදි පවතින ජලය පස තුලට කාන්දුවීම මගින් භූ ගත ජලයට විශාල දායකත්වයක් ලබා දේ. මේ නිසා අක්‍රමවත් ලෙස පහත් බිම් ප්‍රදේශ ගොඩ කිරීමෙන් මෙම තත්වය මගහැරේ.
·         භූ ගත ජලය ප්‍රමාණවත් ලෙස ප්‍රතිපෝෂණය නොවීම නිසා වැසි ඇතිවී සුළු කලකින් පසේ ජලය ( භූ ගත ජලය) ගහකොළ, ළිං මගින් භාවිතා කිරීම නිසා වියළි යයි. මේ නිසා වැස්සෙන් පසු සුළු කාලයක දී නියං ලක්ෂණ පරිසරයේ දැකිය හැක.
මෙම ලිපියේ ආරම්භයේ දක්වා ඇති පරිදි  අපේ මුතුන්මිත්තන් නව ජනාවාස හෝ අලුත් වගා බිම්  ඇති කිරීමේ දී භූ ගෝලීය පිහිටීම වෙනස් නොවන ලෙස, ජල මූලාශ්‍රයක් ආසන්නයේ ජල ගැලීම් වලට හසු නොවන සීමාව නිවාස සදහා වෙන් කළහ . වගා බිම් තේරීමේ දී “භුමියට සුදුසු බෝගය” තේමාව කර ගනිමින් පහත් බිම් ප්‍රදේශ මඩ වී වගාවටත්, හොද ජල වහනයක් සහිත පසෙන් යුතු ප්‍රදේශ ගොඩ බෝග සහ පලතුරු වගාවටත් යොදා ගන්න ලදී.
පරිසරය හා කාලගුණය පිළිබඳ හොද අවබෝධයක් තිබු බැවින් ශ්‍රී ලංකාවේ වී වගා කටයුතු සදහා උචිත ම කලාපය ලෙස කලාප 2 හෙවත් වියළි කලාපය හදුනා ගත් අතර එහි පැවති ප්‍රධාන ගැටලුව එනම්, වසර පුරාවට ඒකාකාරී ලෙස වැසි ජලය නොලෑබීම විය. මෙලෙස පරිසර කලාප 2 වෙත වසරේ සීමාසහිත කාල පරාසයක පසට දරාගැනීමට හැකි පමණට වඩා වැඩියන් ලැබෙනා ජලය වැව් සාදා ගබඩා කිරීම මගින් වියළි කලාපයේ ජන ජිවිතයට අවශ්‍ය ගෘහස්ථ ජල අවශ්‍යතාවයන් මෙන්ම පරිසරයට හා සතා සිව්පාවට අවශ්‍ය ජලයද සැපයීය. බොහෝ විට අහස් දිය වගාවක් ( වැසි ජලය පමණක් යොදා) සදහා වගා චක්‍රයක් (බිජ පැල කිරීමේ සිට අස්වනු නෙලා ගැනීම) සම්පුර්ණ කිරීමට ප්‍රමාණවත්  වැසි කාලයක් නො පැවතුනී.  එම කාලවල දී දේශීය ආවේනික වී වර්ග වගා කල අතර මස 6 ක පමණ වගා චක්‍රයක් විය.
මේ නිසා වැසි නොලැබෙන වියළි කාල වලදී වැව් වල ගබඩා කර තබාගන්නා ජලය වාරි ඇළ මගින් වී වගාවට ලබා දීම සිදුකරනා අතර වාරි ඇලට උඩින්  ඒ අසල පිහිටි ගොඩ ඉඩම් වල වගාකර ඇති ගොඩ බෝග ඇල තුලින් කාන්දු වී පසට එක්වන ජලයෙන් පෝෂණය විය. එමෙන්ම වැව් පත්ලෙන් කාන්දු වීමෙන් නිරන්තරයෙන් භූගත ජලයට යම් ප්‍රමානයකට ජල සැපයීමක් සිදුවේ. මේ මගින් අවට ළිං සහ ගහ කොළ සජීවීව පවත්වා ගැනීම සිදුකරණු ලබයි. එදා අපේ මුතුන්මිත්තන් පරිසරය ඉතා හොදින් අධ්‍යනය කර වටහාගෙන තිබුනි. ස්වභාවික ජල මාර්ග වල ඉහළ කුඩා ජලාශත් ක්‍රමයෙන් පහලට යාමේදී වැඩි ජල ධාරිතාවයකින් යුතු වැව පද්ධතියක් සෑදීම මගින් මෙය හොදින් පැහැදිලි කරදෙයි. ජලය ඔවුන්ගේ ජිවය ලෙස සලකූ බැවින් වැව් තැනිමකදී හැර ස්‌වභාවික ජල මාර්ග කිසිම ලෙසකින් ආවහිර කිරීමක් නොකළහ. මේනිසා එදා වැසි නියමාකාරයෙන් ලැබුනේනම් එම ජලය වැව් වලට සහ පරිසරයට ප්‍රමාණවත් විය.
නමුත් අද තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්වී ඇත. ශ්‍රී ලංකාවේ ජනාවාස සැලසුම් කරණයේ දී මුලිකව සලකනු ලබන්නේ වැසි හා අපජලය හැකි ඉක්මනින් මහ මුහුදට මුදා හැරීමයි. මේ සදහා ප්‍රධාන නගර මුල් කොට ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වී ඇත. මේ මගින් වැසි ජලගැලීම් පාලනය වුවත්  පරිසරයේ පැවැත්මට ප්‍රමාණවත් ජලය නොලැබේ. ගස් වැල් හා ස්ථීර බෝග වල මුල් පද්ධතිය පවතින්නේ පොළව මතුපිට සිට පස තුලට ගැඹුර මීටර් 2 - 3 සිමාවේය.  මේ නිසා පාංශු ජල මට්ටම පහල බැස මුල කලාපය වියලීම සමග ගස් මැලවීමට පටන් ගනී. මෙම තත්වය දිගින් දිගට පැවතියහොත් ස්ථීර ලෙස ගස් මැරී යාම සිදුවියහැක.  
ශාක පොළවට වැටෙනා සූර්ය ශක්තිය සහ වායු ගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් වායුව තම ආහාර නිපදවීමට යොදාගැනීම නිසා පරිසරය රත්වීම වලකින අතර ජීවයට හිතකර ඔක්සිජන් වායුව පරිසරයට ලබාදේ. නමුත් පරිසරයෙන් ශාක ඉවත්වීම සමග පරිසරයේ පවතින කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශත ඉහළ යන අතර එය සූර්ය ශක්තිය කොටසක් අවශෝෂණය කර පරිසරය රත් කරයි. මේ සමගම සූර්ය රශ්මිය කෙලින්ම ගොඩනැගිලි වැනි භොතික ද්‍රව්‍ය මගින් අවශෝෂණය කිරීම නිසා  පරිසරය තවදුරටත් රත් කරයි.
මේ නිසා භුමිය, පරිසර තත්ත්ව සහ කාලගුණික  තත්ත්ව නිවැරදිව හදුනා ඒ අනුව සංවර්ධන සැලසුම් විද්‍යාත්මකව සකස් කරන්නේ නම් කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට අපට හැකියාවක් ඇත. ලෝකයේ බොහෝ රටවල් මෙලෙස විද්‍යාත්මක සංවර්ධන සැලසුම් මගින් මිනිසා හා පරිසරය බද්ධ කොට ජීවත්වීමට සුවදායි තත්වයන් නිර්මාණය කර තිබේ.