Sunday, July 15, 2018

වැව් වදන් විවරණය (දෙවන කොටස) - එල්ලංගාව


        ගොවිතැන ආරම්බයේ මිනිසා අහස්දිය වගාවක් ලෙස සිදුකරන්නට ඇත. නමුත් වගාවක් සම්පුර්ණ කිරීමට බොහෝවිට වැසි දිය ප්‍රමාණවත් නොවන්නට ඇත. ඉන් පසු ඔවුන් ස්වභාවික ජල මාර්ග (ඇල දොළ ගංගා ) ගොවිතැනට හරවා ජලය සපයන්නට ඇත. මෙම ජල මාර්ග ද පරිසරය මෙන්ම වැසි කාල වල වැඩි ජල ප්‍රමාණයක් රැගෙන යන අතර වියළි කාල වල පරිසරය මෙන් වියලී යන බව අත්දැකින්නට ඇත. මේනිසා වියළි කාල වල වගාවට ජලය ලබාගැනීම මෙම ජල මාර්ග වලින් අසීරු වන බැවින් ජලය වැඩි කාල වලදී  ජලය ගබඩා කල හැකි ක්‍රමයක් සිතන්නට ඇත. මෙහි ප්‍රතිපලය ලෙස ඉතා කුඩා ජලාශ ඉදිවන්නට ඇත. ජනගහන වර්ධනය සමග ආහාර අවශ්‍යතාව සියවස් ගණනක් මුළුලේ වර්ධනයත් තාක්ෂණික දියුණුවත් මානව සංවර්ධනයත් සමගාමීව සිදුවිය. පරිසරය හා බද්ධව දිවිගෙවූ ආදී ශ්‍රී ලාංකිකයා පරිසර හිතකාමී වැව් ගම්මාන ගොඩනගා ඇති ආකාරය ආචාර්ය  පී බී ධර්මසේන විද්වතා ඔහුගේ පර්යේෂණ කෘති මගින් ලොවට හෙළිකර ඇත. මෙලෙස ස්වභාවික දියපහරක් හරස්කර වැවක් සදා පරිසරයට හානිය  අවම  ලෙස ද වැවේ පැවැත්ම ප්‍රශස්තව ද පවත්වාගැනීමට සුදුසු දැණුමින් එදා ගැමියා අදට වඩා පොහොසත් බව මෙයින් කියවේ. ගමේ වැවෙන් අස්වැද්දිය හැකි වූ භුමි ප්‍රමාණය සිමා සහිත වුවත් වැඩිවන ගමේ ජනගහනයට එය ප්‍රමාණවත් නොවිය.  මේ නිසා මෙම ජල මාර්ගයේම ගමේ කූඹුරු යායට පහළින් තවත් වැවක් ගොඩනගා, වැසි කාලයට දැනට පවතින වැව උතුරා ගලන “වාන් ජලය”  සහ කූඹුරු ගොවිතැනේදී බැස යන “වෙල්පහු” ජලය එකතුකිරීමෙන් එම වැවට පහළින් නව බිම් ප්‍රමාණයක් අස්වද්දා ආහාර ප්‍රශ්නය විසදාගන්නට ඇත. මෙලෙස එකම ජලමාර්ගයක ස්ථාන කීපයක වැව් පිහිටීම එදා ගැමියා “එල්ලංග” ලෙස හැදින්විය. රජරට උපන් ශ්‍රී ලංකා මහ බැංකුවේ  පර්යේෂණ අංශ හිටපු ප්‍රධානී ආචාර්ය එම් යු ඒ තෙන්නකෝන් මහතා ඔහුගේ පර්යේෂණ පත්‍රිකාවක එල්ලංගාව මුලින්ම සදහන් කර ඇත. ජලය ගමන්කරනා දිශාව අනුව මේවා පිළිවෙලින් එකිනෙකට සම්බන්ද වේ. 

මේ සදහා යෙදෙන ඉංග්‍රීසි වදන් වන Tank Cascade System (TCS) පර්යේෂණ පත්‍රිකාවන් වල ඉන් පෙර භාවිතා කර තිබුණි. කීර්තිමත් විද්‍යාධරයකු වූ ආචාර්ය  සී ආර් පානබොක්ක මහතා මේ සම්බන්දව විශේෂ අධ්‍යයනයක නිරතව පර්යේෂණ පත්‍රිකාවන් ගණනාවක් එලි දක්වාති අතර එල්ලංගාව වර්ගීකරණය කොට ඇත. එයින් උපුටා ගත් එල්ලංගාවක දළ සටහනක් මෙහි දක්වා ඇත. භාෂාවේ දියුණුවත්, අළුත් වචන භාෂාවට එකතුවීමත් නිසා විවිධ පර්යේෂකයන් මෙය “වැව් පද්ධතිය” “වැව මඩුල්ල” ලෙස ද අද හදුන්වයි. (ලක්දිව වාරි උරුමය - ආචාර්ය්‍ය මුදිත ප්‍රසන්නජිත්)   

       ඔබට ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළහැකි එල්ලංගාවක් A9 ප්‍රධාන මාර්ගය අසල මාර්ගය දිගට පිහිටා ඇත.  මරදන්කඩවල පසුකර අනුරාධපුර දෙසට ගමන් කරනා විට මෙය දැකිය හැක. මෙය නාච්චාදුව වැවට ජලය  සපයන එක් අතු ඇලක පිහිටා ඇති එල්ලංගාවක් (වැව් පද්ධතියක්) වේ. මෙහි වැව් 6 ක් පිහිටා ඇත. ඒවා පිළිවලින් ආරම්බයේ සිට වෙන්ඩොරන්කුලම, බදුගමවැව, බුලන්කුලම, මිගස්සගම වැව, අලිස්තාන වැව සහ තිරප්පනේ වැව යන වැව්  මෙයට අයත්වේ. දෙවන සිතියමෙන් මෙය දැක්වේ. මෙම සිතියම ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ පර්යේෂණ වාර්තා 48න් උපුටා ගන්නා ලදී.
     

 එල්ලංගාව යන වදන පිළිබදව විවිධ ප්‍රදේශ වල ගොවිමහතුන් ගෙන් විමසා බැලීමේදී මැදවච්චිය, හොරොව්පතාන, ගලෙන්බිඳුනුවැව, තිරප්පනේ වැනි ප්‍රදේශ යම් ප්‍රමානයකට පැරණි ගොවිමහතුන් දැන සිටියත්, එල්ලංගාව යන වදනට වඩා "වැව පද්ධතියක්" යන වදන වර්තමාන ගොවිමහතුන් වැඩි දෙනෙක් දන්නා බව පසක් විය.

     එල්ලංගාව යන වචනය උඩ වැවේ සිට ඊළග වැවට ඊළග වැවට ලෙස  “ ඊළග, ඊළග, ඊළග, ඊළග” යන වදන්  එක පෙලට කියවීමේදී    "එල්ලංගා" යන පැරණි වචනය භාවිතයෙන් නිර්මාණය වී ඇති බව සිතිය හැක.

මේ සම්බන්දව ඔබගේ අදහස මෙය පරිශීලනය කරන්නන් ගේ දැනුම සදහා ඉතා අගයමි. 

No comments:

Post a Comment