Tuesday, July 10, 2018

වැව් වදන් විවරණය (පළමු කොටස )



ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ (උතුරුමැද, ඌව සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ) ජල කළමනාකරණයට සම්බන්දව පර්යේෂණ කටයුතු සිදුකරන්නා විට වාරි භාෂාව හෙවත් වැව බස අසන්නට ලැබුණි. එමෙන් ම  මේ සම්බන්දව ලියවී ඇති බොහෝ පොත පතේ මෙන්ම පර්යේෂණ ලිපිවල ද මෙම වචන දකින්නට ලැබේ. ආචාර්ය එම් යු ඒ තෙන්නකෝන් මහතා “එල්ලංගාව” යන ගැමි වදන පර්යේෂණ ලිපියක ඇතුලත් කිරීමත් සමග ආචාර්ය සී එම්  මද්දුමබණ්ඩාර,  විශේෂයෙන් ආචාර්ය පී බී ධර්මසේන, ආචාර්ය මුදිත ප්‍රසන්නජිත් සහ අනකුත් විද්වතුන් අපේ පැරණි විශිෂ්ඨ වාරි තාක්ෂණය ලෙවට නිරාවරණය කිරීමට එදා භාවිතා වූත්, අද සමාජයෙන් දුරස්වුත් එම වචන නැවත සමාජ ගතකිරීමක් සිදුවිය.  සමහර විට මෙම සමහර වචන ප්‍රාදේශීය ලෙස ද පැරණි වැව් ගම්මාන වල භාවිතා වී තිබුනත්  බොහෝදුරට අද සමාජයේ භාවිතයෙන් ඉවත්වී ඇත. එනමුත් මාගේ විමර්ශනයන්ට අනුව මෙහි නියම තේරුම මෙම වචන තුලම ගොනුවී ඇත. භාවිතයෙන් හැඩගැසුණු වචන බැවින් විවරණයන් සටහන් කර තැබීම වැදගත් යයි සිතමි.
මාහට මෙම වචන විවරණය මගපෑදූ සිදුවීම සටහන් කරනු වටී. 1987 වර්ෂයේ අප මහවැලි එච් කලාපයේ ජල මිනුම් පර්යේෂණ කටයුතු වල නිරතවී සිටිනා අවස්ථාවේ කලාවැව පැරණි සොරොව්වේ පිහිටි ජල මාපකයේ මිනුම් ගැනීමට ගොස් සිටියෙමු.  මෙම ස්ථානයට විදේශීය සංචාරකයන් පිරිසක් සමග දේශීය සංචාරක මග පෙන්වන්නෙකු පැමිණියේය. අප සිදුකරනා කටයුතු දෙස බලාසිටි ඔවුන් දේශීය මග පෙන්වන්නා ගේ විස්තරයට යොමුවිය. කලාවැවේ පැරණි ගලෙන් බැදී පැරණි සොරොව්ව බිසෝකොටුව බවත් පෙර රජවරු වැවේ ආරක්ෂාවට බිසෝවරු මෙහි ගිල්වා මැරූ නිසා මෙම නිමැවුම බිසෝකොටුව ( ඔහුගේ වචනයෙන් “Queen’s square”) ලෙස හදුන්වන බව පැවසිය. එය වැව සැදු වහාම පළමු ජලමුරය නිකුත් කිරීම සමග සිදුකරනා බවත් සදහන් කරනා ලදී. එම විදේශිකයන් අතර සිටි එක් කාන්තාවක් මෙය ඉතා මිලේච්ඡ ක්‍රියාවක් බවත් මෙවැනි බිලිපුජා ඇය අසා ඇති බවත් පුරාණ ලතින් ඇමෙරිකානු රටවල මෙවැනි ක්‍රියා සුලබ බවත් පැවසිය.  මම වහාම මැදිහත්වී දේශීය මග පෙන්වන්නා ගේ ප්‍රකාශය නිවැරදි කරමින් මෙය සොරොව් නිර්මිතයක් (Sluice structure) බවත් මෙය බිසෝකොටුව ලෙස හදින්වීම වැරදි බව කිවේය. මෙහි කාර්ය වැවේ ජලය පාලනයක් සහිතව වැවෙන් පිටකිරීම බව සදහන් කළේය. බිසෝවරු මෙහි ගිල්වා මරා ඇති බවක් කිසිවිටකත් අප ඉතිහාසයේ සදහන්ව නැති බවත් දැන්විය. අපට විශිෂ්ඨ වාරි ඉතිහාසයක් ඇති බවත් කලාවැවේ සිට අනුරාධපුර පිහිටි නුවර වැව දක්වා පැරණි යෝධ ඇල සැතපුමට අඩියක් ලෙස බැස්ම තබා නිමවා ඇති බවය.  නව සංවර්ධනය යටතේ නිමවූ නව ජය ගග නවීන තාක්ෂණික උපකරණ උපයෝගීකරගෙන කැපීමේදී  බොහෝ ස්ථාන වල සැලසුම් මාර්ගය සම්පුර්ණයෙන් වෙනස්කර පැරණි යෝධ ඇලට සම්බන්ද කිරීමට සිදුවූ බවත් ඒ හැර වෙනත් මාර්ගයක් නොතිබූ බැවින් පෙර දවසේ අපගේ මුතුන්මිත්තන්ගේ තාක්ෂණය ඒ දවස කෙතරම් උසස් දැයි සිතන ලෙසත් ප්‍රකාශ කළේය.
ඔබ විදේශිකයන් සමග කටයුතු කරනා අයෙක් නම් කරුණාකර අපේ ඉතිහාසය හා සම්බන්දව සත්‍ය තොරතුරු සැමවිටම ඔවුන් වෙත ලබා දෙන්න. ඉතිහාසඥයන් සහ විද්වතුන් ලියා ඇති ලිපි මගින් මෙම තොරතුරු බොහෝදුරට පහසුවෙන් අන්තර්ජාල යෙන් ලබාගත හැක.    
මෙම වාරි වදන් ගැන මාගේ කුතුහලය සහ අවධානය යොමුවීමේ ප්‍රතිඵලය මෙලෙස එලි දැක්විය හැක.
බිසෝකොටුව / සොරොව්ව (හොරොව්ව ) Sluice
ඉතිහාසඥයන් සහ විද්වතුන් බිසෝකොටුවේ කාර්ය්‍ය විවිධාකාර ලෙස විග්‍රහ කර ඇත. බිසෝකොටුව වැව් බැම්මෙන් වැව තුලට  (ජලය පවතින කොටසට) වන්නට පිහිටියේද වැව් බැම්මෙන් පිටතට (ගොඩ දෙසට) පිහිටියේද එසේ නොමැතිනම් මේ කොටස් දෙකම (සොරොව්ව සහිතව වැව තුල පිහිටි කොටස ද )යන්න පැහැදිළි කර නොමැත.  (උපුටා ගැනීම:   විකිපීඩියා, නිදහස් විශ්වකෝෂ)  බිසෝකොටුව වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චූල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.


1.        වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්
2.        ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්
3.        ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය”මොහොල”නම්වේ.
පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි
මේ අනුව මාගේ අදහසනම් සමස්ථ පද්ධතියම බිසෝකොටුව ලෙස දැක්විය හැක. 
ක්‍රිස්තු පුර්ව 3 වන සියවසේ  (අදින් වසර 2300 පමණ පෙර) සැදු  රුහුණේ පිහිටි ඌරුසිටා වැවේ බිසෝකොටුවේ මා විසින් ලබාගත් ජායාරුපයක් පහත දැක්වේ.
මෙය වැවෙන් පිටතින් පිහිටා ඇති බව පෙනේ. ඌරුසිටා වැව අදත් පසුබිමෙන් පෙනෙනා ගස් වලට එපිටින් පිහිටා ඇත. පැරණි ප්‍රධාන ඇලට නව සොරොව්වක් මගින් ජලය ලබාදෙයි. වැඩි ජල ධාරිත්වක් රදවාගත හැකි ලෙස වැව් බැම්ම නවීනිකරණය කර ඇත. පැරණි සොරොව්ව දක්නට නොමැත. නටබුන් වල පිහිටීම අනුව වැව් බැම්ම වක්‍ර සහිතව පිහිටා තිබු බව පෙනේ. මධ්‍ය ප්‍රමාණ අපේ පැරණි වැව් වල ස්වභාවික භුමි පිහිටීම් මත වක්‍ර සහිත වැව් බැමි දැකිය හැකිය. නමුත් නවීන තාක්ෂණය අනුව පස් බැමි (වැව් බැම්ම) සෘජුව ගොඩනගයි.

විශිෂ්ඨ පුරාවිද්‍යාඥයකුවූ සෙනරත් පරණවිතාන මහතාට අනුව බිසෝකොටුවේ කාර්ය්‍ය වැව තුල සිට පිටතට ගලනා ජලයේ සැඬ බව පාලනය මම ද  පිලිගනිමි.
 අද නිමවන මහා වාරි ව්‍යාපෘති වල ද ප්‍රධාන ඇල ආරම්බයේ ජලයේ පිටවන වේගය අනුව ඉවුරු ඛාදනය වලක්වා ගැනීම සදහා  ප්‍රමාණවත් දුරකට කොන්ක්‍රීට් බැමි යොදයි.

බොහෝ වාරි නටබුන් වල ඉතිරිව ඇත්තේ වැව බැම්මෙන් පිටත පිහිටි ප්‍රධාන ඇල මුල කොටස් පමණි. එදවස වාරි කර්මාන්තයක් අලුතෙන් පිහිටුවීමේදී වැව තුල පිහිටි සොරොව් කොටසේ නිදන් වස්තුන් තැන්පත් කරනා බවට පැතිර ඇති මිත්‍යා කතා නිසා මෙම කොටස් නිදන් සොරුන්ගේ ක්‍රියාවන් වලින් විනාශ වන්නට ඇත.
විශාල කළුගලින් ඉතා සියුම් ලෙස එකිනෙකට හොදින් සම්බන්ද වී පවත්නා ලෙස මෙම පැරණි වාරි නටබුන් ඔපමට්ටම් කර සාදා ඇති බව දෑකිය හැක. මේ සදහා දියුණු යකඩ උපකරණ එදවස තිබෙන්නට ඇත. එමෙන්ම විශාල ගල් කුට්ටි එකිනෙක මතට උස්සා තැබිමට යම් උපකරණ නිපදවන්නට ඇත. මානව වංශ කතාවේ මේ අවදිය ලොව පුරා විවිධ ප්‍රදේශ අපේ මෙන් ඉතා දියුණු සංස්කෘතින් පැවතී බවට නටබුන් සාධක ඇත. මේ නිසා අප මේ කථාකරනා ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණයට ද යකඩ මෙවලම් හා උපකරණ යොදාගන්නට ඇත. ගලින් තැනු බිසෝකොටු / සොරොව් කාණු අදත් දැකිය හැකිවුවත් වැවෙන් පිටකරනා ජලය පාලනය කල ආකාර පැහැදිළිව දැකිය නොහැක. මෙයට හේතුවී ඇත්තේ අද මෙන් මෙම කොටස් යකඩෙන් තනා භාවිතා කිරීමත් කාලයා සමග ඒවා දිරා ගොස් පසට එකතුවී එම සලකුණු  මැකීයාමය.  
            මෙම ලිපියේ මුලික අරමුණ වූයේ විශාල වැවක ජලය ඉන් පිටතට ගන්නා ඇටවුම බිසෝකොටුව ලෙස හැදින්වූයේ ඇයි ද යන්නය. මෙහිදී මාගේ අදහස වන්නේ මෙය ජල  “බැස්සුම් කොටුව” ලෙස ආරම්භයේ හදුන්වා පසුව එය “බිසෝකොටුව” ලෙස එදිනෙදා භාවිතයෙන් පරිවර්තනය වූ බවය. සිංහල භාෂාවේ මෙවැනි වදන් බොහෝ දෑකිය හැක.
මෙලස අනෙකුත් පැරණි වැව් වදන් විවරණයට මා   බලාපොරොත්තුවන  බැවින් ඔබගේ ප්‍රතිචාර හා නිවැරදිකිරීම් මෙය පරිශීලනය කරන්නන් ගේ දැනුම සදහා ඉතා අගය කරමි.

1 comment:

  1. ආචාර්ය පී බී ධර්මසේන මෙම සටහන email කර තිබුණි.

    මෙම ලිපි පෙළ සකස් කිරීම ඉතා අගය කලයුතු කාර්යයකි. ඔබගේ බිසෝකොටුව පිලිබඳ විවරණය මමද කියවා බැලුවෙමි. මමද ඔබ හා එකඟ වෙමි. එම ආකාරයටම බිසොවැව් පිළිබඳවද මම අසා ඇත්තෙමි. එහිද ඇත්තේ පහල වැවට ජලය බැස්ස වීම යන අරුතමය. බිසෝ කොටුව විකාශනය වන්නේ ක්‍රිස්තු පුර්ව හය වන සියවසටත් පෙර සිටමය. මාදුරු ඔය සොරොව්වේ මෙහි මුල් සැලසුම දැකිය හැක. පාෂාණ අතරින් වාතය පිටවන ආකාරයෙන් හිදැස් තබා මෙම සොරොව්ව නිර්මාණය කොට ඇත. මේ පිලිබඳ මා මෑතකදී කරන ලද දේශනයක අඩංගුව ඇති බැවින් ඔබගේ අවධානය සඳහා එහි link එක පහතින් දක්වමි.

    https://www.slideshare.net/DharmasenaPb/water-civilization-of-sri-lanka-sinhala-1



    ඔබගේ වෑයමට මගේ ප්‍රසංසාව මේ සමග.



    ආචාර්ය පී. බී. ධර්මසේන

    ReplyDelete