Thursday, March 23, 2017

ශ්‍රී ලංකා වාරි තාක්ෂණය ( දෙවන කොටස)

ශාක භක්ෂකයින් ගෙන් පරිණාමය වූ ආදිතමයන් ද පළමුව ශාක භක්ෂක දිවියක් ගෙවන්නට ඇත. මෙය අපගේ ආහාර ජීරණ පද්ධතිය සහ මුබයේ දන්ත වින්‍යාසය හා හැඩයන් ගෙන් අදටත් විද්‍යාමාන වේ. නමුත් ශාකමය ආහාර සදහා අනෙකුත් සත්වයන් සමග වූ තරගයෙන් මානවයා සර්ව භක්ෂක  තත්වයට පත්වන්නට ඇත. දඩයම් සහ එඩේර යුග වල දී ප්‍රෝටීන් බහුල මාංශමය ආහාර ගත්තත් ධාන්‍ය (කබෝහයිඩ්රේට) එහි ප්‍රධාන කොටසක් විය. අනෙක් විශේෂිත කරුණ නම් මාංශමය ආහාර ඉක්මනින් නරක්වීමත් ධාන්‍ය බොහෝ කල් ගබඩා කර ගැනීමට හැකි වීම නිසා ආහාර වගා කිරීම කෙරේ වැඩි අවධානයක් යොමු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ ආදිතමයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු බොහොමයක් ලැබී ඇත්තේ තෙත් කලාපයට අයත් ප්‍රදේශ    ( පාහියන් ගල, බටදොඹලෙන, බලංගොඩ, කූරගල) ආදී ප්‍රදේශ වලින් වන අතර වියළි කලාපයට අයත් දඹුල්ල-ඉබ්බන්කටුවෙත්, හම්බන්තොට මිණිඇතිළිය යන ප්‍රදේශ වලින් ආදී මානවයාගේ  සුසාන භූමි කිහිපයක් හමුව ඇත. 
ආදී මානවයා පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ශ්‍රී ලංකාවේ වියලි කලාප ප්‍රදේශ වලින් හමු නොවන්නේ  එම  ප්‍රදේශ වල  ආදී මානවයාගේ වාසස්ථාන (ස්වාභාවික ලෙන්) දිගින් දිගටම භාවිතයේ (විහාරස්ථාන වැනි ආගමික ස්ථාන ලෙස) පැවතීම නිසා ඉවත්ව ඇති බව මගේ අදහසයි. ශ්‍රී ලංකාවේ ආදිමානවයා (බලන්ගොඩ මිනිසා) අදින් වසර 40.000 පමණ පෙර ජීවත් වූ බව පුරාවිද්‍යාත්මක ව  තහවූරුවි ඇත.  
කෘෂිකාර්මික යුගයේ ආරම්භය පිළිබඳ නිශ්චිත තීරණ ගැනීමට නො හැකි වී ඇත්තේ ආදී මානවයා සමග සොයා ගත් ධාන්‍ය ස්වාභාවික පරිසරයෙන් නෙලා ගත් ඒවා ද වගා කල ඒවා ද වෙන්කර ගත නොහැකිවීමය. මුල් අවදියේ භාවිතා කල කෘෂි උපකරණ කිසිවක් හමු වී නොමැත්තේ ලී වැනි දිරායන කොටස් මේ සදහා භාවිතා කල බැවින් වන්නට ඇත. නමුත් කෘෂිකාර්මික යුගය ඊට වසර 20,000 පමණ පසුව (අදින් වසර 20.000 පමණ පෙර) ඇතිවී තිබෙනා බව පුරා විද්‍යාඥයින් ගේ මතයයි.  
මේ වන විට ඔවුන් ශිෂ්ඨාචාරයේ අනෙකුන් අංශයන් තුලින් ද එනම්; නිවාස සෑදීම, ආහාර පිසීම. පුද්ගල අනන්‍යතාවය, ඇදුම් පැළදුම්, ලෝහ භාවිතය, ජනාවාස පිහිටුවීම සහ පොදු එකඟතාවෙන් අනුව කටයුතු කිරීම වැනි අංශයන් ගෙන් බොහෝ ඉදිරියට පැමිණ තිබිණ.
ජල මාර්ගයේ ඉහළ ස්ථානයක සිට ඊට පහළ මට්ටමක පිහිටි වගා බිමක් වෙත පොළොව මත කෝටුවකින් (ලී කැබැල්ලකින් ) හෝ මියගිය සත්වයකුගේ සවිමත් ඇටකටුවකින් සලකුණු කරන ලද කාණුවකින් ජලය ලබාගෙන වාරිමාර්ග තාක්ෂණයට අත්පොත් තැබූ ශ්‍රී ලාංකීය මානවයාට තවත් ගැට‍ළු රාශියකට මුහුණ දීමට සිදු විය.  
මෙම අවදියේ බෝග සහ එහි ජල අවශ්‍යතාවයන්  පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමෙන් වගාවට සැපයූ ජලය අධික වීම නිසා ද වගා විනාශයන් වන්නට ඇත.  මේ නිසා ජලය ගලා යාම පාලනය සදහා කාණුව ගල් බාධක යෙදීම, පස් යොදා වැසීම සිදු කරන්නට ඇත.  එමෙන්ම සමහර ස්ථාන වල පසට  ජලය සැපයූ විට වැඩිකලක් ජලය රැදෙන බවත් තවත් ස්ථාන වල ඉක්මනින් ජලය බැස ගොස් පස වියළිමට පත්වන බවත්  නිරීක්ෂණය වන්නට ඇත. එලෙස ම සමහර බෝග ජලය රැඳෙන ස්ථාන වල හොඳින් වැඩෙන බවත් අනෙක් බෝග ඉක්මනින් ජලය බැස යන ස්ථාන වල හොඳින් වැඩෙන බව ඊළඟ පරම්පරාවට කියා දෙන්නට ඇත. මෙම දැනුම පරම්පරා කිහිපයක් තුල වර්ධනය වෙමින් පැතිරී මෙන් පසු  ඔවුන් භූමියට වඩාත් උචිත බෝගය කුමක් දැයි නිශ්චය කරන්නට ඇත.  
            පරිසරයේ සිදු වන කාලගුණික වෙනස් වීම් පිළිබදව  ඔවුන් මතකයේ තබා ගත් අතර එම මතකයන් ඔස්සේ ඊළඟ පරම්පරාවට එම දැනුම ලබා දුන්හ. මේ අතර ඉඩෝරය  කාල පැමිණීමත් සමග වගාවට ජලය ලබාගන්නා ජල මාර්ග ද වියළී ගොස් වගාව සම්පුර්ණයෙන් විනාශ වන බව  මෙන් ම අධික වැසි නිසා ගංවතුර ගලා වගා විනාශයන් ද සිදු වන බව ඊළඟ පරම්පරාව දැනුවත් කළේය.  එමෙන්ම වගා බිම් වෙත ජලය ලබාගැනීමට හැකි වන්නේ ඒවා ජල මාර්ග වලට වඩා පහත් මට්ටමක පිහිටි විට දී බවට‍ තේරුම් කර දුන්හ.   සමහර බෝග වර්ග වර්ෂාව පමණක් උපයෝගී කර වගා කළ හැකි බවත් තවත් සමහර බෝග වර්ග වගාවට වර්ෂා  කාලයට වඩා වැඩි කාලයක් ඵල දැරීමට ගත වන බවත් තේරුම් ගත්හ.
            කලින් සඳහන් කල පරිදි ජලයේ ගුණාංග ඉතා හොඳින් නිරීක්ෂණය කර එහි පහත ගුණාංගයන් හදුනා ගෙන ඇත.
1.       ජලය නිරන්තරයෙන් උස් ස්ථානයක සිට පහත ස්ථානයක් වෙත ගලා යයි.
2.       ජල මාර්ග වල ජලයේ මට්ටම උස් වන විට ජලය වේගයෙන් ගලා යන බව
3.       ජල මාර්ගයේ ජලය ගලා යාමට බාධකයක් ඇති විට  ජලයේ මට්ටම උස් වන බව.
4.       ජලය වේගයෙන් ගලනා විට පස හෑරී යන බව
5.       ජල මාර්ග වල පතුලේ ඇලය ( ආනතිය) වැඩිවන ජලය ගලා යන වේගය වැඩි වන බව.

( මෙම කරුණු ඔවුන් දැන සිටි බව මා පවසන්නේ කෙසේ ද යන්න ඔබට ගැටළුවක් වනු ස්ථිරය. නමුත් අදටත් භාවිතයේ පවතින කලාවැව නුවරවැව යෝධ ඇල, බසවක්කුලම ප්‍රධාන ඇල, මිනිපේ අමුණ ඇල, ඇඹිලිපිටියේ ඌරුසිටා වැව ප්‍රධාන ඇල, දැදුරු ඔය ඇල්ල අමුණ   ඇතුළු ඉපැරණි ශ්‍රී ලාංකිකයාගේ වාරි පද්ධති අධ්‍යනයෙන් මේ බව ස්ථිරව ම සනාථ කල හැක. නවීකරණය තාක්ෂණයෙන් වාරිමාර්ග සැලසුම් කරණයේ දී මෙම කරුණු ම සලකනු ලබයි. )

Tuesday, March 21, 2017

ශ්‍රී ලංකා වාරි තාක්ෂණය ( පළමු කොටස )



මානවයා බිහි වීමෙන් පසු මානව ශිෂ්ටාචාරයේ විවිධ යුග පසු කල බව දැක්වේ. මෙහි දී පිළිවෙළින් මෙම යුග: ගල් යුගය, දඩයම් යුගය, එඩේර යුගය, කෘෂිකාර්මික හා කාර්මික යුග ලෙස හඳුන්වා දී  ඇත. ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය කුමන යුගයක ඇති වී දැයි තීරණය පුරාවිද්‍යා විශාරදයන් ගේ පර්යේෂණ තුලින් තහවුරු කිරීමට ඉඩ තබමි. නමුත් දඩයම් යුගයටත් පෙර සිට  ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරය පැවති බව යම් සාධක හමු වී ඇති බව සඳහන් වේ.  
එඩේර යුගයෙන්  කෘෂිකාර්මික යුගයට මිනිසා ප්‍රවිෂ්ට වන්නේ පරිසරයෙන් ඔහු ලබාගත් ධාන්‍යමය  ආහාර (කාබෝහයිඩ්රේට ආහාර ) ජනගහනයට ප්‍රමාණවත් නො වූ බැවිනි. මේ වන විට මොළයේ වර්ධනය දියුණු තත්වයක පැවති අතර දියුණු ස්මරණ ශක්තියක්, පරිසරය සහ එහි ගැට‍ළු හඳුනා ගෙන ඒවා විශ්ලේෂණය කිරීමේ හැකියාව ද ඔහු සතු විය. මේ නිසා ස්වාභාවික පරිසරයේ ධාන්‍ය වර්ග පැලවෙන අයුරු සහ ඒ සඳහා අවශ්‍ය පසුබිමත් නිරීක්ෂණ කිරීමෙන් වටහා ගෙන තිබිණ. මෙම නිරීක්ෂණ වඩාත් තහවුරු කල සාධකය වන්නේ ආහාර සඳහා දුරින් රැස් කර  ගෙනෙනා ධාන්‍ය වැසි කාල සීමාවේ දී වාසස්ථාන ආසන්නයේ  පැල වීමයි.   මේ මගින් යෝග්‍ය කාල සීමාවෙ දී බීජ ඉසීමෙන් වාසස්ථාන ආසන්නයේ ආහාර නිපදවා  ගත හැකි බව තේරුම් ගත්හ. මෙය කෘෂිකාර්මික යුගයේ ආරම්භය විය.
මෙවැනි ම දියුණුවක් ලොව අනෙකුත් මානව ශිෂ්ටාචාර තුල ද සිදු වී තිබෙනා බව එම රටවල පුරා විද්‍යාත්මක සොයා ගැනීම් මගින් සනාථ කර තිබේ. නමුත් මේවා අතර සමානතා මෙන් ම බොහෝ විෂමතා ද පවතී. මෙයට හේතු වී  ඇත්තේ එම රට වල භූ  ගෝලිය  පිහිටීම, කාලගුණික සහ  පාංශු යන පරිසරාත්මක  සාධක වල බලපෑමයි. මේ නිසා එම මානව ශිෂ්ටාචාරයන් ඒ රට වලට සුවිශේෂී වී ඇත.
මෙලෙස ම මෙම මානවයා කාලගුණය සහ පරිසරයේ සිදු වන වෙනස් වීම් මෙන් ම ජලයේ පවතින සුවිශේෂී ගති ලක්ෂණ ද නිරීක්ෂණ මගින් වටහා ගෙන තිබුණි.  මෙම නිරීක්ෂණ එක් පුද්ගලයෙකු එක් පරම්පරාවක් තුල සිදු කළ ඒවා නොව පරම්පරා ගණනක් තුල දැනුම ලබා දීම මගින් රැස් කර ගත් ඒවා විය හැක.  මෙම නිගමනයත් අත්විඳීමට ඔවුන් කිහිප වරක් වගා කිරීම් සිදු කලා විය හැක. සමහර අවස්ථාවල දී සාර්ථක අස්වනු ලැබුවත් බොහෝ අවස්ථා අසාර්ථක වන්නට ඇත. මෙම අසාර්ථක බවට හේත් වූ කරුණු සාමූහික සාකච්ඡා මගින් විශ්ලේෂණය කරන්නට ඇත. ඒ මගින් පහත නිගමන යන්ට පැමිණෙන්නට ඇත.  
එනම්:
 ජලය නිරන්තරයෙන් උස් ස්ථානයක සිට පහත් ස්ථානයකට ගලා යන බව.
 බීජ පැල වන්නේ පසට ජලය ලැබීමෙන් පසු බව.
පසේ තෙතමනය පවතින විට පැළෑටි වැඩි කලක් ජිවත් වන බව.
පැළෑටි වියළි මියයන්නේ ජලය හිඟ වීමෙන් බව.
පසේ ජලය කාලය සමග ඉවත් වී වියළි යන බව.   
සමහර ධාන්‍ය පැළෑටි වර්ධනය සඳහා පස හොඳින් තෙත් වී තිබිය යුතු බවත්  සමහර ධාන්‍ය පැළෑටි වර්ධනයට තෙතමනය එතරම් අවශ්‍ය නොවන බවත්.

ජල මාර්ග අසල ප්‍රදේශ මෙලෙස වගා කටයුතු සඳහා  යොදා ගෙන එම ස්ථානයෙන් ජලය ලබාගැනීමට උත්සාහ කරන්නට ඇත. නමුත් සම මට්ටමේ බිම පවතින විට ජලය ගලා නො යන බව වටහා ගැනීමෙන් ජල මාර්ගයේ උස් මට්ටමකින් පසේ ලී කැබැල්ලකින් කාණුවක් සැකසීමෙන් ජලය ලබා ගන්න ඇත.   මෙය මෙරට වාරි ඉතිහාසයේ ආරම්භක පියවර ලෙස සටහන් කල හැක.  


මෙම ලිපිය කොටස් වශයෙන් පල කෙරේ. ඔබගේ අදහස්  විවේචන මා දිරි ගැන්වීමක් ලෙස සතුටින් පිළිගනිමි.  

Saturday, March 18, 2017

මගේ යුතුකම



ලෝකය අද මෙම තත්වයට පැමිණ ඇත්තේ අපගේ ආදීතමයන් (මුතුන්මිත්තන් ) ඔවුන් වටහා ගත්  දැනුම ඊළඟ පරම්පරාව වෙත ලබා දීම මගිනි. ලෝකය ඉදිරියට යාමට මා නියෝජනය කරනා  පරම්පරාවට වඩා ඉදිරි පරම්පරාවට  දැනුම, (විශේෂයෙන් ජලය හා බැදුණු පරිසරාත්මක කරුණු ) ලබා දීම මගේ යුතුකමක් ලෙස සලකන බැවින් මෙලෙස ඔබ වෙත  ඉදිරිපත් කරමි. කෘෂිකාර්මික ජල කළමනාකරණ ඉංජිනේරුවකු ලෙස වසර 37 ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය කර ලබාගත් දැනුම  විශ්‍රාමික මා ඔබ වෙත තිළිණ කිරීමට බලාපොරොත්තු වෙමි.   

බදුගොඩහේවා රංජිත් ආරියරත්න