Monday, August 21, 2017

ශ්‍රී ලංකාවේ නියං සහ ජලගැලීම් වලින් බෝග වලට සිදුවන හානිය පාලනය සදහා මාර්ගෝපදේශය


පහත ලින්ක් එක මගින් කියවිය හැක.

https://drive.google.com/file/d/0B-5a-_ZvWo39ekZLUjNKZ1RRNWs/view

නියඟය ගංවතුර සහ ශ්‍රී ලංකාවේ ගොවියා

අද ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් හතරෙන් තුනකට වඩා නියඟයෙන් පීඩා විදිමින් පවතී. මෙයට හේතුව ස්වාභාවික කාලගුණික වෙනස් වීමක බලපෑමට නතු වීම බැවින් ඉන් අත් මිදීමට අපට නො හැක. නමුත් පරිසරය (පස හා ජලය ) දිගු කලක සිට නිසියාකාරව කළමනාකරණය කලේ නම් මෙහි බලපෑම අවම කිරීමේ හැකියාව ඇත. එක්සත් ජාතීන් ගේ  සංවර්ධනය වැඩසටහන මගින් පළ කරනා ලද මාර්ගෝපදේශ පොතක මේ සම්බන්ධව පල කිරීමට හැකි විය. මා මෙහි තුන් වන පරිච්ඡේදයේ සිට හය වන පරිච්ඡේදය දක්වා වගා තීරණ ගැනීම සම්බන්ධව ප්‍රායෝගික තත්වය දක්වා ඇත. වැඩි දෙනා අතර ප්‍රචලිත නො වුවත් මෙම පොතෙහි ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අඩංගු වේ. UNDP ශ්‍රී ලංකා වැඩසටහන මගින් මෙම පොත භාෂා තුනෙන් ම ( සිංහල, දෙමළ සහ ENGLISH) පළ කර ඇත.   google drive ලින්ක් එකෙන් සිංහල පිටපත කියවිය හැක. 

Saturday, July 8, 2017

උමා ඔය සංවර්ධන ඉතිහාසය සහ එහි වන්මත් ගැටළුව

මාගේ දැනීමට අනුව උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අන්තර් ජාලයේ පවතින තොරතුරු ආශ්‍රිත විමසුමක දී මෙම ව්‍යසනයට මුල් වන්නේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ නියමාකාර අධ්‍යනය කර ව්‍යාපෘතිය සැලසුම් කරණය නො කිරීමයි.  ශ්‍රී ලංකාවේ මහවැලි ද්‍රෝණියේ ජල විදුලි උත්පාදන විභවයන් හඳුනා ගැනීමේ අධ්‍යනයක් එක්සත් ජනපද මෙහෙයුම් කණ්ඩායමක් සහ   කැනේඩියන් හන්ටින් සමාගම 1959 දී  සිදු කර ඇත. UNDP / FAO 1968-69 සිදු කළ මහවැලි ප්‍රමුඛ සැලසුම් සම්පාදනයේ දීත් උමා ඔය කුඩා ජල විදුලි බලාගාර 2 ක් යෝජනා වී ඇති අතර මහවැලි ද්‍රෝණිය තුලින් ජලය පිටතට ගෙන යාමක් මෙහි නැත.   1988-89 කාල සීමාවේ ජර්මානු ලහමර් අන්තර්ජාතික සමගම ලංකා විදුලිබල මණ්ඩලය සදහා සක්‍යතා අධ්‍යනයක්  සිදු කරමින් අදියර 3 යුතු උමා ඔය සංවර්ධනයක් යෝජනා කර ඇත. පසුව නැවත විමර්ශනයකින් මෙය අදියර 2න්  යෝජනා කර ඇත.  මෙම සියලු යෝජනා මහවැලි ජලය එම ජල ද්‍රෝණිය තුල ම භාවිතා කිරීමට සැලසුම් කර ඇත.  1978 සිදු කළ කඩිනම් මහවැලි සංවර්ධන වැඩ පිළිවෙල මගින් උතුරු මැද සංවර්ධන මහවැලි ජලය මගින් ඉලක්ක කළත්  මොණරාගල සහ හම්බන්තොට ආසන්න ම දිස්ත්‍රික්ක වලට නො ලැබුණි. 1991 දි මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය (CECB) සකස් කල සැලසුමකට අනුව ප්‍රථම වරට අන්තර් ද්‍රෝණි ජල හැරවුමක් මගින් මහවැලි ද්‍රෝණියේ ජලය කිරිදිඔය ද්‍රෝණියට හැරවීම යෝජනා කර ඇත. වර්ෂ 2000 දි   SNC Lavalin Inc. (Canada) සවිස්තරාත්මකව අධ්‍යනයක් මගින් මෙය අනුමත කර ඇත. මේ අනුව ජල විදුලිය  312 GWh වාර්ෂිකව නිපදවීමට මෙගාවොට් 90 ක විදුලි බලාගාරයක් සහ හෙක්ටයාර 5000 ඉඩම් සදහා වාරි ජලය ලබා දීමට යෝජනා කර ඇත. රටේ පැවති වාර්ගික ත්‍රස්තවාදය නිසා ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මෙම සියලු යෝජනා යටපත් වී ඇත.
ලංකාවේ ජනගහනය ඉතා අඩු දිස්ත්‍රික්ක වන්නේ  මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මෙම දිස්ත්‍රික්ක වල පානය සදහා සුදුසු ජලය නොමැති වීම ය.  මෙම කරුණ නො සලකා ආරම්භ කල හම්බන්තොට දැවැන්ත සංවර්ධනයට පිරිසිදු පානිය ජලය අත්‍යවශ්‍ය. මේ සදහා නිල්වලා ගඟ හම්බන්තොටට හැරවිය හැකිදයි සොයා බැලූ අතර කළුගග ජලාශයක් රත්නපුර ආසන්නයේ සදා රක්වාන ඔයට ජලය යෙදීමෙන් වලව ගඟ  පෝෂණය කර උඩවලව ජලාශය හරහා ජලය ලබා ගැනීමට හැකියාව විමර්ෂණය කරනා ලදී. අධික ජනගහනයක් සහිත ප්‍රදේශ මෙම යෝජනා දෙකට ම යට වන බැවින් ඒවා අත්හැර දැමීමට සිදු විය. මේ නිසා යටපත් ව තිබූ උමා ඔය ව්‍යාපෘතිය නැවත කරළියට පැමිණියේ ය.
ඕනෑම  ව්‍යාපෘතියක් ආරම්භයට ප්‍රථම ශක්‍යතා  අධ්‍යනයක් සිදුකර මුලික අවබෝධයක් ලබාගන්නා අතර ඉන්පසු විශේෂිත කරුණු සම්බන්ධ ව සවිස්තරාත්මකව අධ්‍යනයක් වැඩිදුරටත් කරණු ලැබේ. මහාචාර්ය විතානගේ මහතා 1969 දී ලංකාවේ පාෂාණ සම්බන්දව ප්‍රකාශයට පත්කොට ඇති පර්යේෂණ වාර්තාව අනුව මෙම ප්‍රදේශයේ  අඩු සවිමත් හා පැලීම් සහිත පාෂාණයන් සහිත බව දක්වා ඇත. මෙම වාර්තා නිසි අධ්‍යනයක් කලේ නම් මෙවැනි ව්‍යසනයක් සිදු නො වනු ඇත.   1970 දශකයේ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙතරම් දිග නොවූවත් මෙවැනි උමං 3 ක් ඉදිකර ඇත. ඉතාමත් මෑතක දී කොත්මලේ ව්‍යාපෘතිය යටතේ ද උමඟක් කැණ ඇත. මෙවැනි ගැටළු ඇතිවී නැත. පාෂාණ සැලකීමේ දී විවිධ කොටස් වෙනස් ගුණාංගයන් ගෙන්  යුතු වේ.  කැණීම් අවස්ථාවට ප්‍රථම මෙවැනි ස්ථාන හඳුනා ඊට පිළියම් යෙදීමේ තාක්ෂණය ලොව පවතී. ඉතා දිගු භූගත දුම්රිය සහ මහාමාර්ග පද්ධති ලොව පුරා පවතී. මේවා සෑදීමේ දී උමං මාර්ගයේ පවතින ඝන පාෂාණයේ පැලුම් හා දුර්වල ස්ථාන හඳුනා ගෙන කොන්ක්‍රීට්  ආස්තරණ කරුණු ලබයි. මෙම උමා ඔය ව්‍යාපෘතියේ දී  එම ස්ථාන නිසියාකාරව හඳුනා ගෙන නොමැතිව උමඟ කැණීම නිසා ඊට‍ ඉහළින් ඇති භුමියේ ඇති භූගත ජලය සමග පස් උමඟ තුලට කාන්දුවීම් සිදු වී ඇත. මේ නිසා ළිං සිදීයාම් සහ භුමියේ ගිලා බැසීම් ඇති වේ. භූගත ජලය නො මැති වීමෙන් පොළොවේ දැඩි බව අඩුවේ. මේ නිසා නිවාස ගොඩනැගිලි ඉරි තලා බිදී යයි.
 ජලය සම්පුර්ණයෙන් බැස ගිය පසු එම ස්ථාන පිළියම් කිරීමෙන් නැවත සාමාන්‍ය තත්වයට භූගත ජලය පත්වීම ක්‍ෂණිකව සිදු නොවේ.  මෙයට ප්‍රදේශයේ වර්ෂාපතනය භූගත ජල පැතිරුමේ විශාලත්වය වැනි සාධක නිසා වසර කීපයක් ගත වේ.
මෙම කාලය ගලාගිය ජල ප්‍රමාණය පහත ආකාරයට පසුපසට ගණනය කිරීම මගින් අනුමාන කල හැක.
ගලා යන ජල ප්‍රමාණය මාධ්‍ය වාර්තා අනුව:     විවිධ මාධ්‍ය  1600 l/sec
                                                                                    රජයේ  800 l/sec
                                                                          සාමාන්‍ය    1200 l/sec මෙම සිග්‍රතාවයෙන් ජලය ගලා යාමේ දී දිනකට ඉවත් වන ජල ප්‍රමාණය      103,680,000 ලීටර
මෙය ඝන මීටර  බවට පත් කල විට  103680 දිනකට ඝන මීටර ගලා යයි.  
මාසය කදී ගලා යන ජල ප්‍රමාණය 3,110,400 ඝන මීටර
මාධ්‍ය වාර්තා අනුව මෙලෙස මාස 2 ක කාලයක් දැනට ජලය ගලායමින් පවතී.
මේ අනුව දැනට ඉවත් වී ඇති මුළු ජල ප්‍රමාණය 6220800 ඝන මීටර
මෙය කදූ බෑවුම් සහිත භුමි ප්‍රදේශයක් බැවින් භූගත ජල මට්ටම විවිධ ස්ථාන වල වෙනස් වේ. සමස්තයක් ලෙස ගත් විට පොළොවේ මීටර් 3ක් ( අඩි 9ක් පමණ) උසට භූගත ජලය පවතියි සැලකුව විට මෙම ජල ප්‍රමාණය පැතිරී ඇති භුමි ප්‍රමාණය සොයාගත හැක.
එය වර්ග මීටර  2,073,600   වේ.
මෙම උමං මාර්ගය දෙපස වර්ෂාපතන මිනුම් ස්ථාන 3 ක් ඇත. ඩයරබා තේ වත්ත, බණ්ඩාරවෙල කාලගුණ මිනුම් මධ්‍යස්ථානය සහ ඇල්ල කින්නලින්  තේ වත්ත යන ස්ථානයි.
මෙම ස්ථාන තුනේ ම වාර්ෂික වර්ෂාපතනයේ සාමාන්‍යය අගය මිලි මීටර 1667 කි.
මෙය මීටර් උසක් බවට පත් කිරීමේ දී වර්ෂයකට  මීටර 1.7 පමණ වේ. වර්ෂාවෙන් 40% පමණක් භූගත ජලය එකතුවෙයි. ( සමහර ප්‍රදේශ වල මෙම අගය 5% . වඩා සාධාරණ ලෙස  මෙහි දී 40% ලෙස සලකා ඇත.) වර්ෂාවෙන් භූගත ජල දායකත්වය මේ නිසා 1.7 x 40% = 0.67 මීටර වර්ෂයකට.  මෙම අගය ජලය ඉවත් වී ඇති භුමි ප්‍රමාණයන් ගුණ කල විට වර්ෂයකට එම ප්‍රදේශයට වර්ෂාවෙන් ලැබෙනා ජල පරිමාව වර්ෂයකට ඝන මීටර 1382344 ලෙස ලැබේ.

 මේ නිසා දැනට ඉවත් වී ඇති ජල ප්‍රමාණය ලැබීමට ගත වන කාලය  6220800 / 1382344
= 4.5 වසර වේ.
භූගත ජලය නොමැති වීමෙන් ඉක්මනින් ම විනාශ වන්නේ පරිසරයේ පවතින ගස්කොලන්ය.   මේ සම්බන්ධව කිසිම විද්වතෙක් මේ දක්වා කතා කරන්නේ නැත.
 මැද රට අන්තර් කාලගුණික කලාපයට අයත් වන සුන්දර බණ්ඩාරවෙල බදුල්ල හා හපුතලේ පරිසරයට මේ මගින් වන හානිය අති මහත් ය. නිසි පිළියම් නො පමාව සිදු නො කළ හොත් බහු වාර්ෂික ශාක මැරීයාම සිදුවිය හැක.

 අන්තර් ජාලයේ පවතින තොරතුරු අනුව උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ භූ විද්‍යා තොරතුරු විශ්ලේෂණ කණ්ඩායමක් පත්කොට ඇත. ඔවුන් මෙන්ම  මේ සම්බන්ධව  භූ විද්‍යා හා පතල් කාර්යාංශයට සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයට වගකීමෙන් මිදිය නො හැක. ඔවුන් මේ දක්වා මුනිවත රකී. මහජනයාට කරුණු පැහැදිලි කිරීම මේ සියලු දෙනාගේ වගකීමකි.

Wednesday, April 5, 2017

ශ්‍රී ලංකා වාරි තාක්ෂණය ( තුන් වන කොටස)


මෙම ලිපි පෙළ සැකසීම සඳහා කරුණු සෙවීමේ දී  මුල් යුගයේ ( අදින් අවුරුදු 40,000 පෙර ) කෘෂි කාර්මික  පුරාවිද්‍යාත්මක තොරතුරු කිසිවක් හමු නො විනී.  එම නිසා තර්කානුකූලව විද්‍යාත්මක කරුණු පදනම් කර ගනිමින් මෙය සැකසීමට සිදු විය.  කෘෂිකාර්මික මූලාරම්භය පිළිබඳ ඔබේ විද්‍යාත්මක මතය මේ සමග එකඟ නො වන්නේ නම් කරුණාකර කියවන්නාගේ දැන ගැනීම පිණිස එය මෙහි සටහන් තබන්නේ නම් කෘතඥ වෙමි.   

.......දෙවන කොටස හා බැදේ....


            ජලයේ ගුණාංගයන් මනාව හඳුනා ගෙන සිටි ආදිතම ශ්‍රී ලාංකිකයාට බෝග සහ පස පිළිබද වද ඒ හා සමාන දැනුමක් තිබෙන්නට ඇත.  
                මුලින් ස්වාභාවික ජල මාර්ගයක ඉවුරේ වගා බිම දෙසට ඇති කරනා ලද විවරයක් සම්බන්ධ කාණුවක් මගින් ජලය හැරවූ ඔවුන් එම විවරය ඇරීම වැසීම මගින් අවශ්‍ය ජල ප්‍රමාණය පාලනය කරන්නට ඇත.  මේ මගින් එක් එක් බෝගයන්ට අවශ්‍ය වන ජලය ප්‍රමාණය හා යෝග්‍ය කාල වකවානු පිළිබදව නිරීක්ෂණයන් පරම්පරා කීපයක් තුල අත්හදා බැලීමෙන් ස්ථිර කර ගන්නට ඇත. මේ සමගම වී බෝගය ජලජ පරිසරයකත්,  කුරක්කන් මිනේරි බඩ ඉරිඟු ආදි අනෙකුත් ධාන්‍ය වර්ග ජලය රදා නො පවතින, හොඳින් ජලය බැස යන පසක සාර්ථකව වැඩෙන බවත් තේරුම් ගන්නට ඇත.  
            මීට සමගාමීව පරම්පරාවෙන් පරම්පරාවට අනෙකුත් අංශ වලින් (නිවාස සැදීම, ආහාර රටා, සංනිවේදන) ද ඉදිරියට පැමිණ තිබෙන්නට ඇත. මේ වන විට යපස් වලින් යකඩ නිපදවා ගැනීමත් ඒ මගින් එදිනෙදා භාවිතා වන උපකරණ  සැකසීම සිදු වන්නට ඇත.  ආචාර්ය ගිල් ජුලිෆ්  (Dr Gill Juleff) මහත්මිය ශ්‍රී ලංකාවේ සමනලවැව ප්‍රදේශයේ  එක්දහස් නමසිය අසූව දශකයේ සිදු කළ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් මගින් ලොව මවිත කල අනාවරණයක් සිදු කළේය. එනම් ක්‍රිස්තු පුර්ව 300 දී (අදින් වසර 2300 පමණ පෙර) ශ්‍රී ලාංකිකයා යපස් වලින් යකඩ නිපදවා ගැනීම සදහා භාවිතා කල උදුනක් සොයා ගත්තා පමණක් නොව එය ක්‍රියාත්මක කර බැලීය. එමෙන්ම මෙම උදුනට වඩා බොහෝ ඉපැරණි බ්‍රාහ්මීය  අක්ෂර සහිත ශිලා ලිපි බොහොමයක් ශ්‍රී ලංකාව පුරා විසිරී පවතී. මෙම ලිපි ගලේ  කෙටීමට යකඩ කටු භාවිතා කරන්නට ඇත. . මේ නිසා ශ්‍රී ලාංකිකයා ඊටත් බොහෝ කාලයක සිට යකඩ මගින් වැඩ ගන්නා හැටි දැන සිටි  බව ඔප්පුවේ. අපට මෙය වැදගත් වන්නේ බොහෝ ඉපැරණි ජල හැරවුම් ස්ථාන හොදින් ඔපමට්ටම් කර එකිනෙකට වැද්දුව කළු ගල් යොදා සකස් කර තිබු බැවිනි. මෙසේ  කළු ගල් සැකසීමට යකඩ කටු යොදා ගන්න ට ඇත.
            මුලදී බොහෝ විට ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ප්‍රදේශ වල වසර පුරා ගලා යන ජල මාර්ග ආශ්‍රිතව වාසය කල ආදි මානවයා මා පෙර සඳහන් කල පරිදි ජනගහනය වැඩි වීම සහ  ආහාර සොයා ගැනීම් සඳහා ශ්‍රී ලංකාවේ වියළි කලාප ප්‍රදේශ වෙත සංක්‍රමණය වන්නට ඇත.  මෙහි දී ඔවුන් කැලය හෙළි පෙහෙළි කර විවෘත පෙදෙස් ඇති කර ජනාවාස පිහිට වූ අතර සාමූහික වගා භූමි පිහිට විය. මෙලෙස පවසන්නේ මෑත ඉතිහාසයේ (1960 දශකය තෙක්) රජරට වැව් ගම්මාන වල  සාමූහික වගා ක්‍රමයක් භාවිතා කල බැවිනි.  
            අදින් වසර 20,000 පෙර ආදීමනවයා කෘෂිකාර්මික යුගයකට අවතීරණ වූවා නම් ඊට වසර 5000 පමණ ගෙවුණු විට මේ පිළිබද ඔවුන් ගේ දැනුම ඉතා ඉහළ තත්වයකට වර්ධනය වී තිබෙන්නට ඇත.
   මෙහි දී ඔවුන්ට බෝග, ඒවාට අවශ්‍ය වගා පරිසරය, පස් වර්ග හා ඒවායේ ගතිගුණ, පරිසරයේ කාලගුණික රටා වන්  පිළිබද හොද දැනුමක් ලබා තිබෙන්නට ඇත. කටුසර බෝග වගාව ලෙස පැරැන්නන් හැදින්වූ කුරක්කන්, මෙනේරි, හේන් වී (ගොඩ වී), ඉදල් ඉරිගු වැනි ධාන්‍ය  ගොඩ බෝග වගාවක් ලෙස වගා කල අතර මඩ බෝග වගාවක් ලෙස පහත් භූමි (තෙත් භූමි) වල වී වගාව කරන්නට ඇත. මෙහි දී මඩ වී වගාව සදහා ජලය ජල මාර්ග වලින් පහත් බිම් ප්‍රදේශ වෙත හැරවූ අතර ඉඩෝර කාලසීමාව පැමිණි විට ජලය නොමැතිව මෙම සියලු වගා වන් විනාශ වන්නට ඇත.  එමෙන් ම ඉඩෝරය ආරම්භක අවදියේ ජල මාර්ග වල ගලා යන ජලය නැති වුවත් පතුලේ වල ගැසුණු ස්ථාන වල ජලය ටික කාලයක් රැදී පවතින බව නිරීක්ෂණය කරන්නට ඇත. මෙලෙස ගලා යන ජලය ජල මාර්ගයේ ම රැස් කර ගන්නට හැකි නම් ඉඩෝරයට පිළියමක් බව තේරුම් ගන්නට ඇත. මෙලෙස ජල මාර්ග හරහා එහි ඇති ගල් රැස් කර බාධක ඉදි කරන්නට ඇත. නමුත් ජලය රැස් වී බාධකය දෙ පසින් උතුරා යන්නට ඇත. මේ නිසා උස් ඉවුරු සහිත පටු ස්ථාන තෝරා බැමි ඉදි කරන්නේ නම් ජලය රැස් කර ගත් හැකි බව වටහා ගන්නට ඇත. ගල් වැටී සෑදීමෙන් ඇල මාර්ග වලට ජලය හැරවීමට හැකි වුවත් දිගු කලක් රඳවා ගත නො හැකි වන්නේ ගල් අතර හිඩැස් තුලින් ජලය ගලා යන බව තේරුම් ගෙන වැලි හෝ පස් යොදා අවහිර කලත් ජල මාර්ගයේ ජලය වැඩි අවස්ථාවක  ගලා යාමක දී එම වැටි සේදී යාමකට ලක් විය.   මේ නිසා සේදී නො යන ලෙස වැටි සෑදීම පිළිබඳව අත්හදා බැලීම් පරම්පරා කිහිපයක් තුල සිදු වන්නට ඇත. මෙහි දී වැලි අධික පස බැමි සෑදීමට යෝග්‍ය නො වනා බවත්, වැලි කැට එකිනෙකට බැදී නො පවතින බැවින් ජල පහරට ඉක්මනින් සේදී බැමි කඩා බිද වැටෙනා බවත් මැටි අධික පස යොදා බැමි බැදීමේ දී පස පාගා තද කල විට සෝදා යාම අඩු බව තේරුම් යන්නට ඇත.   මෙලෙස ප්‍රථමයෙන් කුඩා ජල මාර්ග මැටි පස් බැමි යොදා හරස් කර ජලය රැස් කරන්නට ඇත. තද වැසි කාල වල ජල මාර්ග වල ජලය වැඩි වී මෙම බැමි ද කැඩී යන්නට ඇත. කිහිප වරක් අත්හදා බැලීම් තුලින් ජල පහරට ඔරොත්තු දීමට හැකි බැම්මක තිබිය යුතු ලක්ෂණ තේරුම් ගන්නට ඇත.   මෙලෙස ඉතා කුඩා ජලාශ නිර්මාණය කර ගැනීමට ලැබූ හැකියාව මගින් ඉඩෝර කාලවල ජන ජීවිතයට සහ ගෘහාශ්‍රිත සතුන් ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට හැකි වන්නට ඇත.  මැටි පසින් බඳුන් (ජලය රැගෙන යාමට සහ රැස් කිරීමට) සැදීම, වළඳ සෑදීම් හා ඒවා පුළුස්සා ගැනීම අදින් වසර 10,000 ට පෙර සිදු කර ඇති බව පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයා ගෙන ඇත.
        කිහිප දෙනෙකුගේ ශ්‍රමය යොදා ගෙන ඉතා කුඩා ජලාශ සැදුවත් රැස් කර ගත් ජලය බැම්ම හරහා ඉවතට ගත හැකි ක්‍රමයක් නො විය. සමහර අවස්ථාවල මෙසේ සෑදු බැමිවල යම් ස්ථාන හරහා සුළු ජල කාන්දුවීම් සිදු වෙමින් පැවැත එම ස්ථාන වලින් බැම්මේ සිදුරක් සෑදී ජල පහරක් ජලාශයෙන් පිටතට ගලා යන්නට ඇත. මෙලෙස බැම්ම හරහා සිදුරක් සෑදුවහොත් ජලාශයේ ජලය ඉවතට ගතහැකි බව තේරුම් ගන්නට ඇත. බොහෝ අවස්ථා වල මෙලෙස බැම්මේ කාන්දුවීම් තිබී සිදුරු සැදී බැමි කඩා යන්නට ඇත. 

(මතු සම්බන්දයි          )

Thursday, March 23, 2017

ශ්‍රී ලංකා වාරි තාක්ෂණය ( දෙවන කොටස)

ශාක භක්ෂකයින් ගෙන් පරිණාමය වූ ආදිතමයන් ද පළමුව ශාක භක්ෂක දිවියක් ගෙවන්නට ඇත. මෙය අපගේ ආහාර ජීරණ පද්ධතිය සහ මුබයේ දන්ත වින්‍යාසය හා හැඩයන් ගෙන් අදටත් විද්‍යාමාන වේ. නමුත් ශාකමය ආහාර සදහා අනෙකුත් සත්වයන් සමග වූ තරගයෙන් මානවයා සර්ව භක්ෂක  තත්වයට පත්වන්නට ඇත. දඩයම් සහ එඩේර යුග වල දී ප්‍රෝටීන් බහුල මාංශමය ආහාර ගත්තත් ධාන්‍ය (කබෝහයිඩ්රේට) එහි ප්‍රධාන කොටසක් විය. අනෙක් විශේෂිත කරුණ නම් මාංශමය ආහාර ඉක්මනින් නරක්වීමත් ධාන්‍ය බොහෝ කල් ගබඩා කර ගැනීමට හැකි වීම නිසා ආහාර වගා කිරීම කෙරේ වැඩි අවධානයක් යොමු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ ආදිතමයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු බොහොමයක් ලැබී ඇත්තේ තෙත් කලාපයට අයත් ප්‍රදේශ    ( පාහියන් ගල, බටදොඹලෙන, බලංගොඩ, කූරගල) ආදී ප්‍රදේශ වලින් වන අතර වියළි කලාපයට අයත් දඹුල්ල-ඉබ්බන්කටුවෙත්, හම්බන්තොට මිණිඇතිළිය යන ප්‍රදේශ වලින් ආදී මානවයාගේ  සුසාන භූමි කිහිපයක් හමුව ඇත. 
ආදී මානවයා පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ශ්‍රී ලංකාවේ වියලි කලාප ප්‍රදේශ වලින් හමු නොවන්නේ  එම  ප්‍රදේශ වල  ආදී මානවයාගේ වාසස්ථාන (ස්වාභාවික ලෙන්) දිගින් දිගටම භාවිතයේ (විහාරස්ථාන වැනි ආගමික ස්ථාන ලෙස) පැවතීම නිසා ඉවත්ව ඇති බව මගේ අදහසයි. ශ්‍රී ලංකාවේ ආදිමානවයා (බලන්ගොඩ මිනිසා) අදින් වසර 40.000 පමණ පෙර ජීවත් වූ බව පුරාවිද්‍යාත්මක ව  තහවූරුවි ඇත.  
කෘෂිකාර්මික යුගයේ ආරම්භය පිළිබඳ නිශ්චිත තීරණ ගැනීමට නො හැකි වී ඇත්තේ ආදී මානවයා සමග සොයා ගත් ධාන්‍ය ස්වාභාවික පරිසරයෙන් නෙලා ගත් ඒවා ද වගා කල ඒවා ද වෙන්කර ගත නොහැකිවීමය. මුල් අවදියේ භාවිතා කල කෘෂි උපකරණ කිසිවක් හමු වී නොමැත්තේ ලී වැනි දිරායන කොටස් මේ සදහා භාවිතා කල බැවින් වන්නට ඇත. නමුත් කෘෂිකාර්මික යුගය ඊට වසර 20,000 පමණ පසුව (අදින් වසර 20.000 පමණ පෙර) ඇතිවී තිබෙනා බව පුරා විද්‍යාඥයින් ගේ මතයයි.  
මේ වන විට ඔවුන් ශිෂ්ඨාචාරයේ අනෙකුන් අංශයන් තුලින් ද එනම්; නිවාස සෑදීම, ආහාර පිසීම. පුද්ගල අනන්‍යතාවය, ඇදුම් පැළදුම්, ලෝහ භාවිතය, ජනාවාස පිහිටුවීම සහ පොදු එකඟතාවෙන් අනුව කටයුතු කිරීම වැනි අංශයන් ගෙන් බොහෝ ඉදිරියට පැමිණ තිබිණ.
ජල මාර්ගයේ ඉහළ ස්ථානයක සිට ඊට පහළ මට්ටමක පිහිටි වගා බිමක් වෙත පොළොව මත කෝටුවකින් (ලී කැබැල්ලකින් ) හෝ මියගිය සත්වයකුගේ සවිමත් ඇටකටුවකින් සලකුණු කරන ලද කාණුවකින් ජලය ලබාගෙන වාරිමාර්ග තාක්ෂණයට අත්පොත් තැබූ ශ්‍රී ලාංකීය මානවයාට තවත් ගැට‍ළු රාශියකට මුහුණ දීමට සිදු විය.  
මෙම අවදියේ බෝග සහ එහි ජල අවශ්‍යතාවයන්  පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමෙන් වගාවට සැපයූ ජලය අධික වීම නිසා ද වගා විනාශයන් වන්නට ඇත.  මේ නිසා ජලය ගලා යාම පාලනය සදහා කාණුව ගල් බාධක යෙදීම, පස් යොදා වැසීම සිදු කරන්නට ඇත.  එමෙන්ම සමහර ස්ථාන වල පසට  ජලය සැපයූ විට වැඩිකලක් ජලය රැදෙන බවත් තවත් ස්ථාන වල ඉක්මනින් ජලය බැස ගොස් පස වියළිමට පත්වන බවත්  නිරීක්ෂණය වන්නට ඇත. එලෙස ම සමහර බෝග ජලය රැඳෙන ස්ථාන වල හොඳින් වැඩෙන බවත් අනෙක් බෝග ඉක්මනින් ජලය බැස යන ස්ථාන වල හොඳින් වැඩෙන බව ඊළඟ පරම්පරාවට කියා දෙන්නට ඇත. මෙම දැනුම පරම්පරා කිහිපයක් තුල වර්ධනය වෙමින් පැතිරී මෙන් පසු  ඔවුන් භූමියට වඩාත් උචිත බෝගය කුමක් දැයි නිශ්චය කරන්නට ඇත.  
            පරිසරයේ සිදු වන කාලගුණික වෙනස් වීම් පිළිබදව  ඔවුන් මතකයේ තබා ගත් අතර එම මතකයන් ඔස්සේ ඊළඟ පරම්පරාවට එම දැනුම ලබා දුන්හ. මේ අතර ඉඩෝරය  කාල පැමිණීමත් සමග වගාවට ජලය ලබාගන්නා ජල මාර්ග ද වියළී ගොස් වගාව සම්පුර්ණයෙන් විනාශ වන බව  මෙන් ම අධික වැසි නිසා ගංවතුර ගලා වගා විනාශයන් ද සිදු වන බව ඊළඟ පරම්පරාව දැනුවත් කළේය.  එමෙන්ම වගා බිම් වෙත ජලය ලබාගැනීමට හැකි වන්නේ ඒවා ජල මාර්ග වලට වඩා පහත් මට්ටමක පිහිටි විට දී බවට‍ තේරුම් කර දුන්හ.   සමහර බෝග වර්ග වර්ෂාව පමණක් උපයෝගී කර වගා කළ හැකි බවත් තවත් සමහර බෝග වර්ග වගාවට වර්ෂා  කාලයට වඩා වැඩි කාලයක් ඵල දැරීමට ගත වන බවත් තේරුම් ගත්හ.
            කලින් සඳහන් කල පරිදි ජලයේ ගුණාංග ඉතා හොඳින් නිරීක්ෂණය කර එහි පහත ගුණාංගයන් හදුනා ගෙන ඇත.
1.       ජලය නිරන්තරයෙන් උස් ස්ථානයක සිට පහත ස්ථානයක් වෙත ගලා යයි.
2.       ජල මාර්ග වල ජලයේ මට්ටම උස් වන විට ජලය වේගයෙන් ගලා යන බව
3.       ජල මාර්ගයේ ජලය ගලා යාමට බාධකයක් ඇති විට  ජලයේ මට්ටම උස් වන බව.
4.       ජලය වේගයෙන් ගලනා විට පස හෑරී යන බව
5.       ජල මාර්ග වල පතුලේ ඇලය ( ආනතිය) වැඩිවන ජලය ගලා යන වේගය වැඩි වන බව.

( මෙම කරුණු ඔවුන් දැන සිටි බව මා පවසන්නේ කෙසේ ද යන්න ඔබට ගැටළුවක් වනු ස්ථිරය. නමුත් අදටත් භාවිතයේ පවතින කලාවැව නුවරවැව යෝධ ඇල, බසවක්කුලම ප්‍රධාන ඇල, මිනිපේ අමුණ ඇල, ඇඹිලිපිටියේ ඌරුසිටා වැව ප්‍රධාන ඇල, දැදුරු ඔය ඇල්ල අමුණ   ඇතුළු ඉපැරණි ශ්‍රී ලාංකිකයාගේ වාරි පද්ධති අධ්‍යනයෙන් මේ බව ස්ථිරව ම සනාථ කල හැක. නවීකරණය තාක්ෂණයෙන් වාරිමාර්ග සැලසුම් කරණයේ දී මෙම කරුණු ම සලකනු ලබයි. )

Tuesday, March 21, 2017

ශ්‍රී ලංකා වාරි තාක්ෂණය ( පළමු කොටස )



මානවයා බිහි වීමෙන් පසු මානව ශිෂ්ටාචාරයේ විවිධ යුග පසු කල බව දැක්වේ. මෙහි දී පිළිවෙළින් මෙම යුග: ගල් යුගය, දඩයම් යුගය, එඩේර යුගය, කෘෂිකාර්මික හා කාර්මික යුග ලෙස හඳුන්වා දී  ඇත. ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය කුමන යුගයක ඇති වී දැයි තීරණය පුරාවිද්‍යා විශාරදයන් ගේ පර්යේෂණ තුලින් තහවුරු කිරීමට ඉඩ තබමි. නමුත් දඩයම් යුගයටත් පෙර සිට  ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරය පැවති බව යම් සාධක හමු වී ඇති බව සඳහන් වේ.  
එඩේර යුගයෙන්  කෘෂිකාර්මික යුගයට මිනිසා ප්‍රවිෂ්ට වන්නේ පරිසරයෙන් ඔහු ලබාගත් ධාන්‍යමය  ආහාර (කාබෝහයිඩ්රේට ආහාර ) ජනගහනයට ප්‍රමාණවත් නො වූ බැවිනි. මේ වන විට මොළයේ වර්ධනය දියුණු තත්වයක පැවති අතර දියුණු ස්මරණ ශක්තියක්, පරිසරය සහ එහි ගැට‍ළු හඳුනා ගෙන ඒවා විශ්ලේෂණය කිරීමේ හැකියාව ද ඔහු සතු විය. මේ නිසා ස්වාභාවික පරිසරයේ ධාන්‍ය වර්ග පැලවෙන අයුරු සහ ඒ සඳහා අවශ්‍ය පසුබිමත් නිරීක්ෂණ කිරීමෙන් වටහා ගෙන තිබිණ. මෙම නිරීක්ෂණ වඩාත් තහවුරු කල සාධකය වන්නේ ආහාර සඳහා දුරින් රැස් කර  ගෙනෙනා ධාන්‍ය වැසි කාල සීමාවේ දී වාසස්ථාන ආසන්නයේ  පැල වීමයි.   මේ මගින් යෝග්‍ය කාල සීමාවෙ දී බීජ ඉසීමෙන් වාසස්ථාන ආසන්නයේ ආහාර නිපදවා  ගත හැකි බව තේරුම් ගත්හ. මෙය කෘෂිකාර්මික යුගයේ ආරම්භය විය.
මෙවැනි ම දියුණුවක් ලොව අනෙකුත් මානව ශිෂ්ටාචාර තුල ද සිදු වී තිබෙනා බව එම රටවල පුරා විද්‍යාත්මක සොයා ගැනීම් මගින් සනාථ කර තිබේ. නමුත් මේවා අතර සමානතා මෙන් ම බොහෝ විෂමතා ද පවතී. මෙයට හේතු වී  ඇත්තේ එම රට වල භූ  ගෝලිය  පිහිටීම, කාලගුණික සහ  පාංශු යන පරිසරාත්මක  සාධක වල බලපෑමයි. මේ නිසා එම මානව ශිෂ්ටාචාරයන් ඒ රට වලට සුවිශේෂී වී ඇත.
මෙලෙස ම මෙම මානවයා කාලගුණය සහ පරිසරයේ සිදු වන වෙනස් වීම් මෙන් ම ජලයේ පවතින සුවිශේෂී ගති ලක්ෂණ ද නිරීක්ෂණ මගින් වටහා ගෙන තිබුණි.  මෙම නිරීක්ෂණ එක් පුද්ගලයෙකු එක් පරම්පරාවක් තුල සිදු කළ ඒවා නොව පරම්පරා ගණනක් තුල දැනුම ලබා දීම මගින් රැස් කර ගත් ඒවා විය හැක.  මෙම නිගමනයත් අත්විඳීමට ඔවුන් කිහිප වරක් වගා කිරීම් සිදු කලා විය හැක. සමහර අවස්ථාවල දී සාර්ථක අස්වනු ලැබුවත් බොහෝ අවස්ථා අසාර්ථක වන්නට ඇත. මෙම අසාර්ථක බවට හේත් වූ කරුණු සාමූහික සාකච්ඡා මගින් විශ්ලේෂණය කරන්නට ඇත. ඒ මගින් පහත නිගමන යන්ට පැමිණෙන්නට ඇත.  
එනම්:
 ජලය නිරන්තරයෙන් උස් ස්ථානයක සිට පහත් ස්ථානයකට ගලා යන බව.
 බීජ පැල වන්නේ පසට ජලය ලැබීමෙන් පසු බව.
පසේ තෙතමනය පවතින විට පැළෑටි වැඩි කලක් ජිවත් වන බව.
පැළෑටි වියළි මියයන්නේ ජලය හිඟ වීමෙන් බව.
පසේ ජලය කාලය සමග ඉවත් වී වියළි යන බව.   
සමහර ධාන්‍ය පැළෑටි වර්ධනය සඳහා පස හොඳින් තෙත් වී තිබිය යුතු බවත්  සමහර ධාන්‍ය පැළෑටි වර්ධනයට තෙතමනය එතරම් අවශ්‍ය නොවන බවත්.

ජල මාර්ග අසල ප්‍රදේශ මෙලෙස වගා කටයුතු සඳහා  යොදා ගෙන එම ස්ථානයෙන් ජලය ලබාගැනීමට උත්සාහ කරන්නට ඇත. නමුත් සම මට්ටමේ බිම පවතින විට ජලය ගලා නො යන බව වටහා ගැනීමෙන් ජල මාර්ගයේ උස් මට්ටමකින් පසේ ලී කැබැල්ලකින් කාණුවක් සැකසීමෙන් ජලය ලබා ගන්න ඇත.   මෙය මෙරට වාරි ඉතිහාසයේ ආරම්භක පියවර ලෙස සටහන් කල හැක.  


මෙම ලිපිය කොටස් වශයෙන් පල කෙරේ. ඔබගේ අදහස්  විවේචන මා දිරි ගැන්වීමක් ලෙස සතුටින් පිළිගනිමි.  

Saturday, March 18, 2017

මගේ යුතුකම



ලෝකය අද මෙම තත්වයට පැමිණ ඇත්තේ අපගේ ආදීතමයන් (මුතුන්මිත්තන් ) ඔවුන් වටහා ගත්  දැනුම ඊළඟ පරම්පරාව වෙත ලබා දීම මගිනි. ලෝකය ඉදිරියට යාමට මා නියෝජනය කරනා  පරම්පරාවට වඩා ඉදිරි පරම්පරාවට  දැනුම, (විශේෂයෙන් ජලය හා බැදුණු පරිසරාත්මක කරුණු ) ලබා දීම මගේ යුතුකමක් ලෙස සලකන බැවින් මෙලෙස ඔබ වෙත  ඉදිරිපත් කරමි. කෘෂිකාර්මික ජල කළමනාකරණ ඉංජිනේරුවකු ලෙස වසර 37 ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය කර ලබාගත් දැනුම  විශ්‍රාමික මා ඔබ වෙත තිළිණ කිරීමට බලාපොරොත්තු වෙමි.   

බදුගොඩහේවා රංජිත් ආරියරත්න