Thursday, March 11, 2021

වී වගාව සමග සංස්කෘතිකව බැදුණු ලාංකිකයා

ප්‍රථම කොටස 

සංස්කෘතිය බොහෝ විට කාලය සමග වෙනස් වෙයි. මේ නිසා අතීත වී වගාව සමග බැදුණු අපේ සංස්කෘතිය අද වන විට ද වෙනසකට බදුන්වී ඇති බැවින්, එය  මා ඉගෙනගත්, කියවූ සහ ලැබූ කේෂ්ත්‍ර අත්දැකීම් මත දන්නා පරිධි මෙසේ  සටහන් කර තැබීම හෙට පරපුරට වැදගත් වේ යයි සිතමි.  මේ සම්බන්දව ඔබගේ අදහස් මෙය තවදුරටත් පෝෂණය කරනු ඇත.

වී වගාවේ ඉතිහාසය සහ සමාජආර්ථික සම්බන්ධතා

ශ්‍රී ලංකාවේ වී වගාවේ ඉතිහාසය පුරාවිද්‍යාත්මකව තහවුරු කර නොමැත. නමුත් වෙනත් සාධක - මැටි බදුන් රුප  කොටස්, වී වල් දර්ශක බිජ හමුවීම් - නිසා අදින් වසර 3500 – 4000 ඈතට දිවයන බව සටහන් වල දැක්වේ. ආහාර ලෙස වී සකස් කර ගත්තේ කිනම් කාලයක දී ද යන්න තහවුරු නොවුනත් ක්‍රිස්‌තු  පුර්ව 600 දී විජය කුමරු  ලංකාවට ගොඩබැස ආහාර ලෙස බත් පිසුබව සදහන් වේ. ඒ වන විටත් ලංකාවේ දියුණු ජන සමාජයක් වූ බව කුවේණිය රෙදිපිළි සැකසීම සදහා කපු කටිමින් සිටීමෙන් පැහැදිලිවේ.    

            ලංකාවේ ප්‍රථම වැව - අභය වැව, අදින් වසර 2420 පමණ පෙර ( ක්‍රිස්තු පුර්ව 400 දී)  පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුරයේ වී වගාවට ජලය සැපයීම සදහා තනනා ලදී.

ඉහත සියල්ලම සදහන් කලේ ලංකාවේ වි වගාවේ පැරණි බව පෙන්වා දීම සදහාය. බත් අපගේ ප්‍රධාන ආහාරය ලෙස පැවතියත් එළවලු (ව්‍යංජන) මාළු මස් සමග ආහාරයට ගැනීම සිදු වී ඇත. පළතුරු බොහෝවිට අතුරුපසක් ලෙස ආහාරයට එක් විය. පැරණි ලංකාවේ (1950 ට පෙර) තෙත් කලාපයේ බොහෝදෙනා  තුන් වේල සදහාම බත් ආහාරයට ගත්තත් වියළි කලාපයේ උදෑසන ආහාරය සදහා ඉරිගු, කුරහන්, ධාන්‍ය, මාෂබෝග සහ අල වර්ග ආහාරයට ගැනීම සිරිත විය. වියලි කලාපයේ මහා කන්නයේ වර්ෂාව ආරම්භයේ ගොඩ බෝග වගාව (හේන් වගාව) පළමුව සිදුවන අතර වී වගාව වැව් වල ජලය එකතුවීමෙන් පසු සිදුකරයි. වී වගාව ජලජ පරිසරයක - කුඹුරු වගාව  (මඩ ගොවිතැන) ලෙස ද, වියළි තත්ව යටතේ ගොඩ වී - හේන් වී ලෙස ද පෙර කල වී වගා කරනා ලදී. අද  වන විට ගොඩ වී වගාව (හේන් වී ) ලංකාවෙන් තුරන්වී ඇත. බොහෝ දෙනා කැකුළං වී වගාව, ගොඩ වී වගාව ලෙස වරදවා වටහා ගනී. කැකුළං වී වගාවේ දී වියලි වී බිජ, පස වියලි තත්වයේ ඇතිවිට පසට යොදා වර්ෂා ජලය ලියදි වලට රැස්වී මඩ කුඹුරක ආකාරයට ඉදිරි කටයුතු සිදුවේ. ගොඩ වී වගාවේදී ජලය රැස්කර තබාගන්නා ලියදි නොසාදන අතර අනෙකුත් ගොඩ බෝගයන්ට හිතකර නොවෙන, පසේ තෙතමනය රදාපවතින හේනේ කොටස් වල අනෙකුත් ගොඩ බෝග මෙන් වී බිජ යොදනු ලබයි. මේ සදහා නියගයට ඔරොත්තු දෙන පැරණි දේශීය වී වර්ග බොහෝවිට යොදාගන්නා ලදී.  සමහර වී වර්ග වගා කිරීමෙන් පසු අස්වනු නෙලීමට මාස 06 ක පමණ කාලයක් ගතවේ.

            අතීතයේ කුඹුරු වගාව ක්‍රියාදාමයන් රාශියකින් සමන්විත, සමහරවිට වසර පුරාවට විහිදුණු, තනි පුද්ගලයෙකුට පමණක් සිදුකල නොහැකි සාමූහික ක්‍රියාවකි.  මේ නිසා අද මෙන් නොව මුළු කුඹුරුයාය එක විට වගා කිරීම සදහා සියලුම ගොවින් එකතුවීමෙන් සාමුහික කථිකාවක් පවත්වනු ලබයි. මේ සදහා විශේෂ හේතු කීපයක්ම තිබුණි. පෙර රජ දවස සියලුම ඉඩම් රජු සතුවිය. එක් එක් පුද්ගලයාට වගා කිරීම සදහා පමණක් ඉඩම් ලබාදී තිබු අතර බිම් පංගුව ( වගාකිරීම වෙනුවෙන් රජුට ගෙවියයුතු කොටස) භාණ්ඩාගාරය වෙත ලබාදිය යුතුය. මෙම රැස් කිරීම් අදාල ප්‍රදේශ වල ප්‍රාදේශීය නායකයින්, ගම මුලාදෑනින් මගින් සිදුවිය. වගා කටයුතු පිළිබද තීන්දු තීරණ ගැනීම ද ඔවුන්ගේ මුලිකත්වයෙන් සිදුවිය. මේ ලෙස සියලු දෙනාම එකතුවී වගා කටයුතු ආරම්භ කිරීම වැපිරීමේ මංගල්‍යය හෙවත් වප් මගුල ලෙස ඒ දවස හැදින්විය. පවුලේ යැපිම මුලික කරගත් නිෂ්පාදනයක් පමණක් අරමුණු කරගෙන මෙම වගා කටයුතු එකිනෙකාගේ සහයෝගයෙන් පොදු කාර්යයක් ලෙස සිදුවිය. මෙලෙස එසේ කිරීමට එම කාලයේ කුඹුරු සැකැස්ම ද බලපෑම් සිදු කළේය. මෑතක් (වර්ෂ 1970 ) පමණ වනවිටත් ග්‍රාමීය වැව් යටතේ සොරොව්වෙන් නිකුත්කරනා ජලය කුඹුරු මතින් කුඹුරෙන කුඹුරට අවසානය දක්වා ගලා යයි. අද මෙන් එක් එක් කුඹුරට වෙනවෙනම ඇල මගින් ජලය ගත නොහැක. මුල කුඹුරට ඇතුළුවන ජලය අවසාන කුඹුර දක්වා කුඹුරෙන් කුඹුරට ජලය සපයනු ලබයි. මේ නිසා අවසාන කුඹුරට ප්‍රමාණවත් ලෙස ජලය ලගාවනතෙක් සී සෑමේ කටයුතු ආරම්බ නොකළ අතර පහල කෙළවර සිට ඉහලට යායේ  වගා කටයුතු සිදුකරනා රටාවක් විය. මේ නිසා සැමවිටම එකිනෙකා අතර සහයෝගය, අනෙකා පිලිබඳ සොයා බැලීම මෙම වී වගා සංස්කෘතියේ අංගයක් විය. සියළුම කුඹුරු වල  ජල සැපයුම (වතුර බැඳීම) සහ ජලය ඉවත් කිරීම (වතුර කැපීම) යායේ ගොවි මහතුන් කිහිප දෙනෙකු පැමිණ සිදුකරනා අතර තමාගේ ලෙසම සෙසු ගොවිමහතුන්ගේ කුඹුරු ආරක්ෂා කරදීමට පොදු සමාජීය වගකීමක් ලෙස සලකන ලදී.

කුඹුරු සිසැම මිහරකුන් (අම්බරුවන්) යොදා කරනා ලදී. සතුන්ගේත් මිනිසාගේත් වෙහෙස මහන්සිය දුරු කිරීමට ශබ්දනගා කවි ගායනය (අඩහැරය ) මෙම වී සංස්කෘතියේ තවත් අංගයක් විය. මේ නිසා සෑම ගොවිමහතෙකුම මි ගවයින් බාන් කීපයක්ම ඇතිදැඩි කිරීම කල අතර මේ මගින් කුඹුරුට අවශ්‍ය පොහොර සහ පවුලට අවශ්‍ය අමතර පෝෂණය, පස්ගෝ-රස (කිරි, දීකිරි, වෙඩරු, මෝරු, ගිතෙල් ) මගින් ගවයා විසින් ලබා දෙන ලදී.  වී සංස්කෘතිය සමග යාවූ ගව පාලනය අද සමාජයේ දක්නට නැත.

වන සතුන්ගෙන් වන හානිය වලකා වගාව ආරක්ෂා කිරීමට පැල් රැකීමද මෙලෙස සාමුහිකව්  කණ්ඩායම් ලෙස සිදුකල අතර රාත්‍රියේ නිදිමත නැති කිරීමට කවි කීමටත් තවකෙකු ඊට පිළිතුරු සැපයීම මගින් පැල්කවිය ජන සංස්කෘතියට එක්විය. අද මෙය සම්පුර්ණයෙන්ම අපගේ සමාජයෙන් තුරන්වී ගොසිනි. අතීතයේ ජනවහරින් පැවති මෙම ගායනා ඉතාමත් ස්වල්පයක් පමණක් අද ලිඛිතව සංරක්ෂණය වී දක්නට ඇත.

            නුතනයේ බොහෝදෙනා වී වගාව පුරුෂ මුලික කාර්යයක් ලෙස හැදින්වුවත් අතීතයේ වී වගාවේ ආරම්භයේ සිටම කාන්තාවට ද විශාල කාර්යය භාරයක් විය. බිම් සැකසීම, වී වැපිරීම, ජල පාලනය ප්‍රධාන වශයෙන් පුරුෂ පක්ෂය මුලික කොට පැවතියත් වගා වැඩ කටයුතු වල නිරතවන්නන් සදහා කලටවෙලාවට ආහාරපාන (ඇඹුල ), බතබුලත සැපයීමේ ප්‍රධාන වගකීම  කාන්තාවගේ කරමත විය.  මෙයද කාන්තාවන් සියලු දෙන ඒකරාශී වී පොදු කටයුත්තක් ලෙස සිදුකර එක වෙලාවක දී යාය වෙත රැගෙන යාම සිදුවිය. මෙම දර්ශනය  වෙහෙස මහන්සිවී කුඹුරේ වැඩකරනා ගොවිමහතුන් අමන්දානන්දයට පත්කිරීමට හේතු විය. ඒමෙන්ම බිජ වී පොලා, බොල් ඉවත් කර පිරිසිදු කිරිම,  ජලයේ පෙගවීමට සකස් කිරීම, පෙගුනු බිජ යහන්ගත කිරීම ( සෙවන සහිත වාතාශ්‍රය ඇති තැනක අතුරා තැබීම), කණු කැපුණු බිජ වැපිරීමට කුඹුරුට යැවීමට සැකසීම ආදිය ගෙවිලියගේ ප්‍රධානත්වයෙන් සිදුවන කුඹුරෙන් බාහිරව සිදුවන වී වගාවේ වැදගත් කටයුතුය.

            පරම්පරාවෙන් පරම්පරාවට උරුමවූ පරිසරය / කාලගුණය පිලිබඳව දැනුම වී වගාව ආරම්භයට ප්‍රථමයෙන් ඒ පිළිබඳ සමාජයේ සිටිනා ප්‍රවීනයන්, වැඩිහිටියන් රැස්වි විමසා බැලීම එකල සිදුවිය. මෙහිදී පැවති කාලගුණ තත්ව සමාලෝචනය කර පාරම්පරික දැනුම මත ඉදිරි කන්නය පිළිබඳ පුරෝකථනයන් (අනාවැකි කීම)සිදුකරනු ලබයි. මෙහිදී පරිසරයේ ස්වභාවික සතුන්ගේ හැසිරීම, සුළං හමනා දිශාව, වලාකුළු ස්වභාවය සහ වර්ණය, අතීතයේ මේ හා සමාන තත්වයන් පිළිබද මතකයන් වැනි සාධක සැලකිල්ලට ගනි. ඉදිරියේ බලාපොරොත්තු වන වැසි තත්වයන් පිලිබඳ පුරෝකථනයන් සතුටුදායක නොමැති නම් ගමේ සැමදෙනාටම ආහාර සුරක්ෂිතතාවය සහ සාධාරණයක් දෙන විසදුම් අපගේ වී වගා සංස්කෘතිය තුල එකල විය. මෙවැනි අද්විතීය වගා ක්‍රමවේදයක් ලොව කිසිදු කෘෂි සංස්කෘතියක් තුල දැකිය නොහැක. අතීතයේ අස්වනු අහිමිවීමේ (ජිවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව අහිමිවීමේ) අවධානම දරා ගැනීමේ අද්විතීය වගා ක්‍රමවේදයන් දෙකක් භාවිතාකර ඇත.  මෙලෙස පොදුවේ ජන සමාජයෙන් සියලුම දෙනාට සාධාරණයක් ඉටුවණ වගා ක්‍රමවේදයන් පිළිබද ලොව කිසිම වගා සංස්කෘතියක සදහන් වී නොමැත.

1.      බාග බෙදුම ( Portion cultivation) 

මෙම ක්‍රමය අතීතයේ වැව් ගම්මාන වල ක්‍රියාත්මක විය. එකම ජිවනෝපාය වී ගොවිතැන බැවින් ගමේ සියලු පවුලකටම වගා කිරීමට කුඹුරක් හිමිවිය. පෞද්ගලික බිම් අයිතිය නොවූ බැවින් අලුතින් එකතුවන පවුල් සදහා ද බිම් ඉඩ ලබාදීම සිදුවිය. මේ නිසා පමණට වඩා එක් පවුලකට හිමි වන ඉඩම කුඩා වනවිට වැවට එකතු වන ජලය ප්‍රමානවත් නම් පහලින් අලුත් කුඹුරු යායක් එක් කරගැනී. නැතිනම එම වැවට සහ යායට පහලින් අලුත් වැවක් බදිනු ලබයි.  මෙලෙස ගමේ සෑම පවුලකටම වගාවට ඉඩමක් ලබාදෙනු ලබයි.

            ඉදිරි කන්නය පිලිබඳ කතිකාවේදී එවිට පවතින තත්ත්ව අනුව වැවට ප්‍රමාණවත් ජලය නොලැබෙන්නේ නම් සියළු දෙනාම මුළු බිම් ප්‍රමාණයම වගාකිරීමට සුදානම් වුවහොත් කිසිවෙකුටත් කිසිම අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වනු ඇත. එමෙනම අද මෙන් මුදල් වලට බිජ වී එ දවස ලබාගත නොහැක.  අස්වැන්නෙන් හොදම කොටස ඊළඟ කන්නයේ බීජ සදහා තබාගනු ලබයි. මේ නිසා අවධානම් තත්ත්ව යටතේ වගාකර වගා පාළු වුවහොත් ප්‍රධාන පාඩුව වනුයේ තමා සතුවූ  වටිනාම බීජ වී සංචිතය විනාශවීමය. ඒ සදහා යෙදවූ ශ්‍රමය සහ කාලය සාපේක්ෂව වටිනාකම අඩුය. අනෙක ඊට පසු කන්නයේ අස්වනු නෙලනා තෙක් (දළ වශයෙන් අවුරුදු  දෙකක් පමණ) පවුලේ යැපීම සදහා වී නොලැබීමය. මේ නිසා වගා තීරණ ගැනීමේදී ඉදිරි කන්න පුරෝකථනය පිළිබඳ විශේෂඥ පාරම්පරික දැනුමට ප්‍රමුඛතත්වය දෙන ලදී.

            ඉදිරි කන්න පුරෝකථනය අනුව සාර්ථක වැසි බලාපොරොත්තුවක් නොලබෙනම් ගමේ සියලු දෙනාටම යායේ සියලුම කුඹුරු වගාකිරීමට නොහැකි වේ.  මේ නිසා ගමේ සැමටම සමානත්වය සහ සාධාරණත්වය යන කරුණ මුලික කර, අතීතයේ ලද අත්දැකීම් පදනම් කර එම කාලයට ඔබින මෙම අති සාර්ථක ක්‍රමය සකසා ගෙන ඇත. මෙහිදී වැව යටතේ ඇති කුඹුරු යාය, වැව් සොරොව්වේ සිට ජලය බැසයන දිශාව අනුව කොටස් (අතීතයේ මෙය බාග ලෙස හැදින්විය) තුනකට බෙදනු ලැබේ. වැවට ආසන්නම කොටස ඉහළ බාගය ලෙසත්, මැද කොටස  මැද බාගය ලෙසත්, අවසන් කොටස පහළ බාගය ලෙසත් නම් කරනු ලැබිය. ගමේ සියලුම පවුල් වලට ඉහළ බාගයෙන් බිම් කඩක් හිමිවූ අතර එවැනිම බිම් කඩක් මැද හා පහළ බාග වලින්ද ගමේ සියළු පවුල් වලට ලබා දී තිබුණි.

            මේ නිසා ඉතාමත් තද නියං තත්වයක් පුරෝකතනයන් කල වීටදී පමණක් කිසිදු වගාවක්  නොකිරීමට තීරණය කරනා අතර දුර්වල වැසි ලක්ෂණ ඇති විටදී වැවට රැස් වන ජල ප්‍රමාණය අඩුවන බැවින් එවැනි තත්ව යටතේ පළමුවෙන්ම යායේ ඉහළ බාගයේ කුඹුරු පමණක් වගාවට තීරණය කරනු ලබයි. මේ අනුව ගමේ සියලුම පවුල් සදහා ඉහළ බාගයේ වගා බිමිකඩක් පවතින බැවින් කිසිවෙකුටත් අසාධාරණයක් නොවෙනා අතර සියලුම පවුල් වල ආහාර සුරක්ෂිතතාවය තහවුරුවේ.

වගා කටයුතු කරගෙන යාමේදී වැසි තත්වය පුරෝකතනදීට වඩා හොද තත්වයට පත්වුව හොත් වැවට ප්‍රමාණවත් ජලය රැස්වීම අනුව මැද බාගය ද වගා කරනු ලබයි. මේ සදහා පෙර අත්දැකීම උපයෝගී කරගනු ලැබේ. මෙලෙස වැසි තත්වය සහ වැවට ජලය ලැබීම අනුව කොටසින් කොටස වගා කිරීමට පියවර ගැනීමෙන් බිජ වී අහිමි වීමේ දැඩි අවධානම බැහැර කිරීමට හැකි විය.

මෙම ක්‍රමය මගපාදා වැසි තත්වය පුරෝකතනදීට වඩා නරක අතට පත්ව නියං තත්වය වැඩි වී වැවට ජලය පැමිණීම දුර්වල වුවහොත් ඉහළ බාගයේ වගාව එම කන්නයේ අත්හැර දැමීමට සිදුවේ. මෙහිදී වැවේ ජල භාවිතය වගාවටම පමණක් නොව ගේ දොර අවශ්‍යතා, සතා සිව්පාවාගේ සහ පරිසරයේ පැවැත්ම ගැනද සැලකිල්ල ගෙන තීරණ ගනු ලැබේ.  මේ බාග වගා ක්‍රමය මගින් ගැමි ප්‍රජාවට වාසියක් අත්වේ. එම කන්නය සදහා බිජ වී භාවිතය සාමාන්‍ය කන්නයක භාවිතයෙන් ඉතා සුළු කොටසකි (තුනෙන් එකක පමණ). වැඩි බිජ වී කොටසක් භාවිතා නොකොට සුරක්ෂිතව ගොවිසා සතුව මේ නිසා තවදුරටත් පවතී. එසේ නොමැති වූවානම් සම්පුර්ණ බිම් වගාකිරීමට ගොස් වැඩි අලාභයක් සිදුවේ.  වගාව අත්හැරීමේ තීරණය සමග වගා බිමට  ගවයින් ඇතුළු කිරීමට අවසර ලැබේ. මේ මගින් වියළි තත්ව යටතේ ආහාර අහේනියකට මුහුණ පා සිටිනා සතුනට ප්‍රබෝධමත් ප්‍රනීත ආහාරයක් ලැබේ.    

            මෙම බාග වගා ක්‍රමය සමාජයෙන් දුරස්වීමට ප්‍රධාන කරුණු දෙකක් මුල් විය. එතෙක් රජු සතු වූ සියලු ඉඩම් අයිතිය පෘතුගීසි පාලන කලාප තුල ජනයාට පෞද්ගලික අයිතිය ලබාදී ඒ වෙනුවට වාර්ෂක ඉඩම් බද්දක් අයකිරීම් මගින් ජනයා තුල එතෙක් පැවති පොදු ආකල්පය ඉවත්වී පෞද්ගලිකත්වය ඉස්මතුවීමත්, මේ නිසා නව පවුල් එකතුවන විට ඉඩම් කැබැල්ල වෙනස්වීමට නොහැකිවීමත්. ගමේ ජන ධාරිතාවයේ උපරිමය පසුකල විට මෙවැනි ස්වයං ආර්ථික සමාජ පද්ධතිය වල කඩාවැටීම ස්වභාවිකව් සිදුවීමත්ය.       

 

2.      බෙත්ම ක්‍රමය (Share  Land cultivation)

 

මෙම ක්‍රමය බාග ක්‍රමයට පසුව සමාජ සාධාරණත්වය උදෙසා ගැමි සමාජයෙන් බිහිවූ බවට සිතිය හැක. මෙහිදී  කාලගුණ පෙරනිමිති එතරම් සතුටුදායක නොවේ නම් සහ වැවට රැස්වන ජලයේ අඩුවීමක් ඇතිවිට මෙම ක්‍රමය අදටත් රජයේ පාලනය සහිත වාරි ව්‍යාපාර වල ක්‍රියාත්මක කරනු ලබයි. රජයෙන් වාරි පද්ධති සංවර්ධනය කර ඉඩම් බෙදා දී ඇති ව්‍යාපාර වල ගොවින් සතු වන්නේ ඉඩම් පරිහරණ බලය (භාවිතය) පමණි. මෙම ඉඩම් නම් කල අයට පැවරීම හැර වෙනත් අයට විකිනීමට නොහැක. ව්‍යාපාරය විසින් ගනු ලබන වගා තීරණ වලට අනුගත විය යුතුය.

අතීතයේ වැවේ ජලය, වැව යටතේ ඇති සියලුම කුඹුරු වගාකිරීම ප්‍රමාණවත් නොවනා විට යාය පහළ භාගයේ ගොවින් ගේ කුඹුරු එම කන්නයට  පුරන් වීමට හැර (එම කන්නයේ වගා නොකර) එම ගොවින් වැව ආසන්න මුල් භාගයට පැමිණ එහි ගොවියෙකුගේ කුඹුර තාවකාලිකව දෙකට බෙදාගෙන වගා කිරීම බෙත්ම ක්‍රමය නම් වේ. මෙය බාග ක්‍රමයේම පසුකාලීන විකාශනයකි. මේ මගින් ද එක යායක ගොවින් අතර සමානතාවය සහ ආහාර සුරක්ෂිතව තහවුරුවේ. මෙය ජලය හිඟ යල කන්නයේ බොහෝවිට ක්‍රියාත්මක වේ.   

අද වනවිට පෞද්ගලික ඉඩම් හිමිකාරිත්වය සහිත කුඩා වැව් මෙය ක්‍රියාත්මක නොවෙනා අතර රජයේ පාලනය සහිත වාරිමාර්ග ව්‍යපාර වල කන්නය ආරම්බයට පෙර පවත්වනු ලබන ව්‍යාපාරය කමිටු රැස්වීම් වලදී ඊලග කන්නය පිළබඳ සාකච්චා කරණු ලැබේ. විශේෂයෙන් ජල සුලබතාව සහ කාලගුණික තත්ත්ව පිළබඳ අදාල වාරි සහ කෘෂි නිලධාරින් සහ අත්දැකීම සහිත ගොවිමහතුන්ගේ අවධානය යොමුකරනු ලැබේ.      

පෙර කන්න රැස්වීමට කලින් පවත්වනු ලබන ව්‍යාපාරය කමිටු රැස්වීමේ දී මෙම තත්වය සමාලෝචනය කර මුළු ව්‍යාපාරයටම ජලය ප්‍රමාණවත් නොවන අවස්ථාවක බෙත්මකට ගොවිමහතුන් දැනුවත් කරනු ලැබේ. පෙර කන්න රැස්වීමේදී මේ පිලිබඳ නිත්‍යානුකුලව ගොවිමහතුන්ට දැනුම් දෙන අතර කන්න රැස්වීමේ අවසන් තීරණය දින වකවානු සහිතව ප්‍රසිද්ධියට පත්කරනු ලබයි. බොහෝවිට ඉඩම හිමි ගොවිමහතාට කැමති පහළ ගොවිමහතෙකු  කතාකර ගන්නා ලෙස දැනුම් ගෙන අතර එසේ නොමැති විට නිලධාරින් විසින් තේරීම කරනු ලබයි. මෙය එම කන්නයට පමණක් සිමාවන අතර පහළින් පැමිණෙන ගොවිමහතා භුමිය නිසිලෙස භාවිතාකර අස්වනු නෙලීමෙන් පසු ඉන් ඉවත්විය යුතුය. අදටත් ක්‍රියාත්මක මෙම ක්‍රමය ලොව අන් තැනක දැකිය නොහැකි අතීත වගා සංස්කෘතියේ දිගුවකි.    

  

( ඊළග කොටස් වල දී වී වගා සංස්කෘතිය තුල ඇති ‘කලා සහ සෞන්දර්ය’ ක්ෂේත්‍රය, චාරිත්‍ර, ආහාර සංස්කෘති  පිලිබඳ කරුණු ඉදිරිපත් කරමි. )

Wednesday, October 28, 2020

කළාවැව යෝධ ඇළ - නව දැක්මක්

 

මෙය අතීතයේ අපගේ මුතුන්මිත්තන් සතු වූ ඉතා උසස් තාක්ෂණික දැනුම නියමාකාරයෙන් මතුකර  දැක්වීම උදෙසා පලකරමි. ඔවුන් සතු වූ එම තාක්ෂණික දැනුම අදටත් වලංගු බවත් ඒවායේ පැවැත්ම අද දක්වා ක්‍රියාකාරී තත්වයේ පැවතිමේන් පෙන්නුම් කරයි. නමුත් අප සතුවූ එම තාක්ෂණික දැනුම (ගණනය කල ආකාරයන්,සැලසුම් කල ආකාර, මිනුම් සහ උපකරණ) ඉතිහාසයේ යම් කලෙක කිසිලෙසකින්වත් අද අපට සොයාගත නොහැකි ලෙස අපෙන් වසන්වී ඇත.

                   අපගේ ලිඛිත ඉතිහාසයට (මහා වංශයට) අනුව ප්‍රථම වැව ලෙස  ක්‍රිස්තු පුර්ව 437 – 367 (අදින් වසර 2457 – 2387 පෙර ) පණ්ඩුකාභය රජු විසින් අභය වැව (බසවක්කුලම) සැදවූ බව සදහන්වේ. ගොවිතැනට ජලය සැපයීමත් අනුරාධපුර නගර වාසීන්ට එදිනෙදා කටයුතු සදහා ජලය ලබා ගැනීමත් මුලික වන්නට ඇත. මෙය වර්තමාන වර්ගීකරණයට අනුව මධ්‍යම කාණ්ඩයේ වැවකි. මෙහි ජලය ඝන මීටර මිලියන 2.35 (අක්කර අඩි 1910) ගබඩා කළහැකි අතර එවිට හෙක්ටයාර 110ක් (අක්කර 265 ක් පමණ) ජල පැතිරීමක් පවති. ජලයේ ගැඹුර ( සොරොව්ව අසල) මීටර 3.25 (අඩි 15.5) පමණ වේ. අතීතයේ සිට අභය වැව වරින් වර ප්‍රතිසංස්කරණයන්ට භාජනය වී අදටත් හොද ක්‍රියාකාරීත්වයෙන් පවති.

          මෙය ලිඛිත ඉතිහාසයක් සහිත ප්‍රථම වැව වුවත් මීට ප්‍රථම අපේ මුතුන්මිත්තන් වැව් සාදා තිබෙන්නට ඇති අතර ඔවුන් සතුව තිබු එම තාක්‍ෂණය උපයෝගී කරගනිමින් රජ්‍ය අනුග්‍රාහකත්වය මත විශාල වාරි කර්මාන්තයක් වූ අභය වැව සෑදුවා වියහැක. මෙලෙස ඒ වන විටත් ඔවුනට විශ්වාසනීය තාක්‍ෂණය සහ අත්දැකීම් තිබු බැවින් මෙවන් විශාල වාරි කර්මාන්තයකට යොමුවන්නට ඇත.  එදා සිට අද දක්වා වලංගු වැවක් තැනීමේ මුලික සිද්ධාන්ත ඔවුන් යොදාගත් බව පැහැදිලිය. මෙහිදී මල්වතු ඔයේ ගලායන ජල ප්‍රමාණය පිලිබඳ තක්සේරුවක්, එම ජලය රදවා ගැනීමට සවිමත් වැව් බැම්මක්, නිම්නයේ වැව් බැම්ම තැනීමට සුදුසු ස්ථානයත්, වැව් බැම්ම තැනීමට සුදුසු මැටි අධික පස් පිලිබඳ දැනුම, වැවට පහලින් වී වගාකටයුතු වලට සුදුසු ඉඩම් පැවතීම, නගරයට ජනාවාස වලට ආසන්න වීම සහ එහි  ප්‍රමාණවත් ශ්‍රම බලකායක් පැවතීම ආදී කරුණු සලකා බලන්නට ඇත.  එමෙන්ම ජල කඳ රැදවූ පසු වැව තුල පැතිරීම, වැව් බැම්මේ උස, වැඩි ජලය පිටකිරීම (වාන සැදීම), සොරොව් සැදීම  යන තාක්ෂණික කරුණු ප්‍රගුණකර නොතිබුණි නම් මෙවැනි කර්මාන්තයක් ඒ දවස පටන් ගන්නේ නැත.

                 පණ්ඩුකාභය රජු ගේ රාජ්‍ය සමයෙන් වසර 60 කට පසු එනම් ක්‍රිස්තු පුර්ව 307 – 267 ( අදින් වසර 2327 – 2287 පෙර) දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලය තුල  තිසාවැව තැනවූ බව ඉතිහාසය දක්වයි. මෙම රාජ්‍ය කාලය තුල බෞද්ධ පුනරාගමනය සිදුවීම නිසා රජ්‍ය අනුග්‍රහය මත බුදුදහම පෙරට වඩා ලංකාව තුල ස්ථාපිත විය.      (බුදුරජාණන්වහන්සේ තුන්වරක් ලංකාවට වැඩමකිරිමත්, ජීවමාන බුදුරජාණන් වහන්සේ ගෙන් පිරිනැමුණු කේශ ධාතුන් නිදන්කර තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් හිරිගඩු සෑය පිහිටුවීම දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයට වසර 300 කට පමණ පෙර සිදුවී ඇත.) මේ නිසා දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයෙන් පටන් ගත් බෞද්ධාගමික සංස්කෘතිය අද දක්වා නොනැසී පවතී.

          ධාතුසේන රජතුමාගේ රාජ්‍ය කාලය වන්නේ ක්‍රිස්තු වර්ෂ 457 – 473 (එනම් අදින් වසර 1563 – 1547)කට පෙරය. එය තිසාවැව සාදා වසර 764 -780  කාලයකට පසුය.  මෙම කාලය වනවිට අනුරාධපුරය ජනාකීර්ණ අගනගරය විය. එවිට ජීවත් වූ එම ජනගහනයේ ගොවිතැන් කටයුතු සහ ගෘහස්ථ කටයුතු සදහා ඒ වනවිට පැවති තිසා වැව සහ අභය වැවේ සහ අනෙක් කුඩා වැව් ජලය ප්‍රමාණවත් නොවන්නට ඇත. මේ නිසා එවිට වනයෙන් යටවූ භුමියක් ලෙස පැවති යාබඳ ගංගා නිම්නය වූ කලාඔය නිම්නය තෝරා ගෙන ඇති අතර කළාවැව සාදන විට  එහි ගබඩා කල හැකි ප්‍රමාණයට වඩා විශාල ජල ප්‍රමාණයක් වර්ෂා කාලයේ ගලා එන බව නිරීක්ෂණය වන්නට ඇත. මේ නිසා ඒ වන විට ජල හිගයකට මුහුණ දී සිටින යාබඳ  ගංගා නිම්නය වූ මල්වතුඔය ඔය නිම්නයේ තිසාවැවට මෙම ජලය හැරවීමට කටයුතු කරන්නට ඇත.

          මෙහිදී අප පුදුමයට පත්විය යුතු කරුණ වන්නේ කළාවැව සිට කිලෝමීටර් 86.9  (සැතපුම් 54) දුරින් පිහිට තිසාවැවට ජලය  ගෙනයාහැකි බවට තීරණය කිරීමට හේතුවූ සාධක සොයාගත් තාක්ෂණික ක්‍රමවේදයයි.  සාමාන්‍යයෙන් පියවි ඇසට පෙනෙනා දුරකින් මෙම වැව් දෙක පිහිටියේ නම් දෘෂ්ටිය අනුව තීරණයක් ගත හැක. නමුත් මෙතරම් දුරකින් පිහිටි වැව් දෙකක් යා කිරීමට සැලසුම් කරනා විට එම කාලයේ ඉතා දියුණු භූ මිනුම් තාක්ෂණයක් (Land survey technics)  අප සතුව තිබෙන්නට ඇත. එමෙන්ම දියුණු ජල විද්‍යා තාක්‍ෂණය ද අප සතුවූ නිසා තිසාවැවට සැපයීමට බලාපොරොත්තු වන ජල ප්‍රමාණයත්, මෙතරම් දුරක් රැගෙන යාමේදී ඇතිවන හානිවීම් සමග කොපමණ කළාවැවෙන් ජලය නිදහස් කල යුතුද, වර්ෂා කාලයේ අතිරික්ත්ය සපයන්නේ නම් (කළාවැව යටතේ වගාවට ප්‍රමාණවත් ජලය හැර) සෑදිය යුතු ඇලේ ප්‍රමාණය කෙතරම්ද යන්න ගණනය කරන්නට ඇත.

          මෙහිදී වැව් සම්බන්දව මෙම ගණනය කිරීම් වැඩිදෙනාට හුරුපුරුදු ම්නුම් වන සැතපුම් සහ අඩි වලින් දක්වා ඇත.  

          වැව් වල පිහිටීම (වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව)

       කළාවැව සොරොව් පතුල් මට්ටම               =   423.9 අඩි මුහුදු මට්ටමේ සිට

          තිසාවැවේ සොරොව් පතුල් මට්ටම          =   300.2 අඩි මුහුදු මට්ටමේ සිට

කළාවැව - තිසාවැව පිහිටීමේ වෙනස                =   123.7 අඩි

                   (තිසාවැව කළාවැවට වඩා  අඩි 123.7 පහලින් පිහිටා ඇත)

 කළාවැව - තිසාවැව අතර දුර  සැතපුම් 54කි. ( අඩි වලින් නම් 285120කි.)

එම නිසා 123.7 අඩි / 285120 අඩි     බෑවුම ලැබෙන්නේ 0.000434 අඩියකට අඩි ලෙස,   මෙය අඩි 100 කට බැස්ම අඟල් බවට පත්කළ විට අඩි 100 ට  අඟල් 0.5 කි. සැතපුමකට බැස්ම අගල් 27.5කව  ඇත. මෙය ඉතාමත් සුළු බැස්මකි, උපකරණ මගින් මිනුම් කිරීමකින් හැර හදුනාගත නොහැකි බෑවුමකි. ඇළක බෑවුම අධික වන විට ජලය ගලන වේගය වැඩිවී ඇළ පතුල හැරීමකට ලක්වේ. නමුත් යෝධ ඇළේ පවතින මෙම බැස්ම මගින් ඇති කරනා ජල ගලනා වේගය එලෙස පස හැරීමකට ලක් නොකරයි.  ජන වහරේ පවතින යෝධ ඇළේ බැස්ම සැතපුමක අඟල ලෙස දක්වන්නේ එය ඉතා කුඩා අගයක් බව පෙන්විමටය. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට සමතල මතුපිටක ජලය ගලායාමක් සිදුනොවනා බව වැටහෙනු ඇත.  

  යෝධ ඇළ කළාවැවේ සිට තිසාවැවට පමණක් සෘජු සම්බන්ධයක් ඇති නිර්මිතයක් නොවේ. මෙය මෙම සැතපුම් 54 තුල පරිසර පද්ධති පෝෂණය කරමින් කුඩා වැව් රාශියක් සමඟ බද්ධ වෙමින් එම පරිසර පෝෂණය සහ නඩත්තු කරනා සංකීර්ණ ක්‍රියාදාමයක් සහිත පද්ධතියකි.

නව ජයගග කැපීම සහ පැරණි යෝධ ඇළ සම්බන්ධ කතා රාශියක් අන්තර්ජාලයේ ඇත. ඒ මගින් ද පෙන්වා දෙන්නේ  අදින් වසර 1563 – 1547කට පෙර අපේ මුතුන් මිත්තන් සතුවූ අපට මේ දක්වා සොයා ගැනීමට නොහැකිවුත් ඒ තාක්ෂණික ඥානයයි.

පැරණි යෝධ ඇළ සම්බන්ධව අන්තර් ජාලයේ බොහෝදෙනා ලිපි, සම්මන්ත්‍රණ,  වීඩියෝ ප්‍රචාරණය කරණු ලබයි. මා සිදුකල ගණනය වැනි සොයා බැලීමක් / මතයක් මින් පෙර සිදුකර නොමැත. එම විද්වතුන් මේ සම්බන්දව ඔවුන්ගේ මතය දක්වන්නේ නම් පාඨකයාට ප්‍රයෝජනවත් වනු ඇත.

 

රංජිත් 28/10/2020

Tuesday, August 11, 2020

 සීගිරිය - ඔබ නොදකින චිත්‍රය II

ලිපියෙන් මා කරුණු කිහිපයක් සමාජගත කිරීමට බලාපොරොත්තු විය. එය කොතෙක් දුරට සාර්ථකවීදැයි ඔබගේ අදහස් පළකිරීම මගින් මැනීම එක් බලාපොරොත්තුවකි. තවත් කරුණක් ලෙස කාශ්‍යප රජු සීගිරි ගල තරණය කල ආකාරයයි. මාගේ මතය මෙහි දක්වා ඇත. අප සමාජයේ ඒ සදහා විවිධ මත පවති. රවණා රජුට මෙන් දඩුමොනරයක් පැවති බව, ගල මැදින් පියගැට පෙළක් කපා ඇති බව ආදී වශයෙන් තවත් මත රාශියකි.මේ එක මතයකවත් කරුණු සාධක අනුව තහවුරු කර නැත. ඉතිහාස ගත කරුණු අනුව සීගිරිය කදුගැටයක් ලෙස අදට වසර 1505 කට පෙර පවතින්නට ඇතයි මම සිතමි.

 1978 සුළි සුළග සහ දඹුලු ගල පිළිබදව  මාගේ ලිපියේ සදහන් කර ඇත. එම සුළි සුළගට පෙර දඹුලු ගලවසා පැවති  සුළු කැලය සහ තණකොළ සහිත පස් තට්ටුව සම්පුර්ණයෙන් ගැලවී ගොස් පුද්ගලයකු හිස කෙස් කපා තට්ටය ගා ඇති පෙනුමට සමාන ලෙස ඈතට පෙනුනි. එම දර්ශනය ද මෙම ලිපිය ලිවීමට පිටුවහලක් විය.  

අනෙක් කරුණ ජාතික වශයෙන් අප මුහුණපා ඇති පස සෝදායාමේ තර්ජනය ඉස්මතු කිරීමයි.  අද මෙහි ඇති තර්ජනය, අදාළ වෘත්තීන් වල  කිසිම බලධාරියකුට නොපෙනේ. ඉංග්‍රීසින් ලංකාවේ වාණිජ වගාවන් ආරම්බය සමග පාංශු සංරක්ෂණ විධිවිධාන අනිවාර්ය කරනා ලදී. මේ නිසා කෝපි සහ තේ වගාවන් වල සමෝච්ච ගල්වැටි සහ සෝදායාම වැළැක්වීමටත්, ගල් ආවරණ සහිත බෑවුම් කානු වැනි ආරක්‍ෂිත උපක්‍රම අනිවාර්ය කරනා ලදී.  දළ බෑවුම 60% ට වඩා වැඩි භුමි සංවර්ධනය නොකොට රක්ෂිත ලෙස පවත්වාගෙන යායුතු බවට නීතියේ සදහන් වේ. ලංකා රජය විසින් ජනසතු කිරීමට පෙර එම වතුවල මෙම තත්වයන් හොදින් නඩත්තු කරනා ලදී. පසුව කම්කරු ශ්‍රමය අඩුකර ලාභය වැඩි කර පෙන්වීමට ගත් උත්සාහයේ දී මෙම අංශයන් භුමි කළමනාකරණයෙන් ඉවත් විය. එහි ප්‍රතිපලය ලෙස වසර කීපයක් ගතවීමේදී  පස සෝදා ගොස් නිසරු තත්වයන් මතුවීම නිසා අස්වනු අඩුවී අත්හැර දමනා ලද වතු බොහොමයක් ඇත. මීට අමතරව තේ වතුවල සෙවන සදහාත් පස බැද තබා ස්ථාවර කිරීමටත් පවත්වාගෙන ගිය විශාල ගස් කපා දර වලට විකුණා ආදායම් ලබාගැනීම නිසා බෙලිහුල්ඔය, හල්දුමුල්ල, ඇල්ල වැනි ප්‍රදේශ වල මෑත කාලයේ නායයාම් වැඩිවශයෙන් සිදුවිය.  

          පස සෝදා යාම නිසා ජලමාර්ග අවහිරවී ජල ගැලීම් ඇතිවීම, වැව් ගොඩවිම, පසේ රදවා ගත හැකි ජල ප්‍රමාණය අඩුවීම නිසා ගස් කොලන් ඉක්මනින් වියළීමෙන් නියන් තත්වයන් කලින් ඇතිවීම ආදිය සිදුවේ. මේ නිසා මුලික ජිවනොපය කෘෂිකර්මය කරගත් වැඩි පිරිසක් තවමත් ජිවත් වන අප රටේ පාංශු සංරක්ෂණය දෙශප්‍රේමිත්වයේ අනෙක් කරුණු හා සමතත්වයේ පවත්වාගත යුතු බව මාගේ අදහසයි. 

Thursday, July 30, 2020

සීගිරිය - ඔබ නොදකින චිත්‍රය

රංජිත් ආරියරත්න  2020 ජුලි 30 

 

මම ඉතිහාසඥයකු හෝ පුරාවිද්‍යාඥයකු නොවනා අතර වෘත්තියෙන් කෘෂි ජල  කළමනාකරණ ඉංජිනේරුවෙකි. නිදහස් අදහස් දැරීමට සහ ප්‍රකාශකිරීමට ඔබට සහ මට ඇති අයිතිය මත මෙය ඉදිරිපත්කරනා අතර මෙම මතයට එකගවීම / නොවීමට හෝ  විරුද්ධ මත දැරීමට සහ ඒවා ප්‍රකාශකිරීම මගින් වඩාත් විද්‍යාත්මක සංවාදයක පිවිසිය හැක. එබැවින් අවධානයෙන් කියවා බලන මෙන්ම ඔබගේ මතය ද සටහන් කරනා මෙන් ඉල්ලා සිටිමි.

 

පසුබිම

1990 දශකයේ මැද භාගයේ මම ලෙනදොර සිට හුරුළු වැව දක්වා ජලය සපයන හුරුළු වැව පෝෂිත ඇළ ආශ්‍රිත ජලවිද්‍යා පර්යේෂණ කටයුතුවල නිරත වි සිටියෙමි. ලෙනදොරින් මහවැලි ජලය තත්පරයට ඝණ අඩි  150 ක් හුරුළු වැවට නිකුත්කලත් එක ජල බිදුවක් හුරුළු වලට නොලැබීම එයට හේතුවයි. ලෙනදොර සිට පොල්ඇත්තාව දක්වා මහවැලියෙන්සාදන ලද හුරුළු පෝෂිත ඇල පැවති අතර ඉන් පසු එම ජලය ස්වභාවික ජල මාර්ගයක් වූ “යාන් ඔය”  ආරම්භයට (“සීගිරි ඔය”ලෙස මෙය හදුන්වයි )   මුදාහරි. මෙම ජලය යාන් ඔය ඉහල කොටසේ ඇති “පහල තල්කොටේ වැව”, “හිරිවඩුන්න වැව” සහ “හබරණ වැව” හරහා හුරුළු වැවට යා යුතු නමුත් එම කාලයේ තත්පරයට ඝණ අඩි  10 ක ජල ප්‍රමාණයක් වත් පහල තල්කොටේ වැවට ලගා නොවේ. එම කාලයේ හුරුළු පෝෂිත ඇල දෙපස අනවසර වගා කරුවන් දහසක් පමණ වගා කල අතර ඔවුන් අනවසරයෙන් එම ජලය වගා කටයුතු සදහා යොදා ගත්හ. මෙම ජල භාවිතය මැනීම සදහා ජල මාපක සවිකර තිබු අතර මිනුම් කටයුතු සදහා සටහන් කරුවන් යොදවා තිබුණි. පහල තල්කොටේ වැව සිට පොල් අත්තාව දක්වා කොටස සීගිරි සංරක්ෂණ ව්‍යාපෘතියට අයත්ව තිබු අතර අද මෙන් එලිපෙහෙලිවී පාරවල් පවා නොතිබුණි. පහල තල්කොටේ ගම ද කැළයෙන් වටවූ නිතර වන අලින් ගැවසෙන හුදකලා ගමක් විය. ක්‍ෂේත්‍ර නිරීක්ෂණය සහ සටහන්කරුවන් පරික්‍ෂාව සදහා සතියකට දෙවරක් තුන්වරක් මෙම ප්‍රදේශයේ සැරිසැරීමට මම පුරුදු වී සිටියෙමි. යාන් ඔය සිගිරි පාලම අසල ජල මිනුම් ස්ථානයක් ස්ථාපනය කර තිබු බැවින් සීගිරි සංරක්ෂණ ව්‍යාපෘති කොටසට ඇතුළුවීමට අපට අවසර ලබා දී තිබු අතර ව්‍යාපෘති නිලධාරීන් සමග බොහෝ විට සාකච්ඡා කිරීමේ අවස්ථාව ලැබිණි. සවස් කාලයේ 4 – 5 පමණ වනවිට ඉතා සෞම්‍ය පරිසරයක් මෙහි මැවෙනා බැවින් සීගිරි ගල දෙස බලා සිටීමට මම ප්‍රිය කලෙමි. පෙර දවස සීගිරිය කෙලෙස පැවතියේ දැයි කුතුහලය මා තුල නිරන්තරයෙන් විය.

          සීගිරි ව්‍යාපෘති නිළධාරීන් ද වෙහෙස කරවූ දවසේ වැඩ නිමවා නිදහසේ සිටීම සහ වෙනම කෙෂත්‍රයක පිරිසක් වූ අප සමග අදහස් හුවමාරු කරගැනීමට සහ ඒකාකාරී බවෙන් මිදී සිටීමට  ඉතා කැමැත්තක් දැක්විය.  

කැලයෙන් සහ පස් වලින් යටව තිබු එම නටඹුන්  ශේෂයන් මතුකර ගැනීම සදහා සමහර ස්ථාන අඩි 15 – 20 පමණ ගැඹුරට කැණීම් කරණු දිස්විය. එම කාලය වන විට බොහෝ කැනීම් සිදුවෙමින් තිබු අතර පිටත දිය අගල පාදා ගැනීම් සිදුවෙමින් තිබුණි.

          මතුපිට ගස් පදුරු සහ භුමිය හැර වෙන කිසිත් සලකුණක් නොමැති විට මෙම කැණීම් සදහා පාදක කරගන්නා ක්‍රමවේදය විමසුවෙමි.  එය බොහෝ විට පැරණි ලේඛණ සහ ජනප්‍රවාදයෙන් පැවත එන ජනශ්‍රති තොරතුරු මුලික කරගන්නා බව පැවසුහ.  මේ ස්ථානය පිළිබද වැඩි විස්තර නොවේ නම් ක්‍රමවත් ලෙස මතුපිට පස් තට්ටු ඉවත් කරමින් නටඹුන්  කොටස් මතුකරගන්නා බවත්, එම මතුවන කොටස් පිහිටි ආකාරය සහ විසිර ඇති ආකාරය එලෙසම ජයාරූප ගත කරණු ලබන අතර අංකනය කර සටහන් තබනු ලබයි. ඉන් පසු ඒවායේ හැඩය සහ පිහිටීම අනුව එහි පැවති නිර්මාණය පිළිබද දළ අදහසක්  ඇතිකරගන්නා අතර එතරම් කැඩී බිදී විසිරි ගොස් නැතිනම් ඒවා හමුවූ ස්ථානයේම එකිනෙක ගලපා එකලස් කර ස්ථාපනය කරණු ලබයි. විසිරීම බොහෝ දුරට සිදුවී ඇති විට නටඹුන්  කොටස්  එක් ස්ථානයකට රැස් කර එකලස් කර බැලීම  කරණු ලබයි.  එදා අද මෙන් තාක්‍ෂණය දියුණු නොමැති නිසා මෙම ගැලපීම් මිනිස් ශ්‍රමය මගින් එකින් එක එකතු කිරීමෙන් කරනුලබයි. නමුත් අද මෙම නටඹුන්  කොටස් ඩිජිටල් ජයාරූප ගත කිරීමෙන් කොම්පියුටරයක් මගින් එම ජයාරූප කොටස් ඒ මේ අත හරවා කරකවා බැලීමෙන් පහසුවෙන් එකලස් කිරීම කරනු ලබයි.

 සිගිරිය පිළිබද මා තුල වූ කුතුහලය නිසාම ඒ පිළිබද තවදුරටත් කරුණු සෙවීමටත්, 1978 අග භාගයේ හටගත් සුළිසුලං ඇතිවීමට සතියකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාල කෘෂි විද්‍යා පීඨයේ මහඉලුප්පල්ලම ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයේ සිට මිතුරන් සමග දඹුලු විහාරයට ගොස් අවට පරිසරය නරඹමින් දිනක් පුරාවට එහි ගතකර, සුළිසුලං ඇතිවීමෙන් පසු මාර්ගය හෙළිපෙහෙළි වූ වහාම මහඉලුප්පල්ලම සිට ගෙදර යාමට දඹුල්ල පසුකරන විට දුටු දඹුලු ගලේ දර්ශනයත් මා සිතේ තදින්ම  සටහන්ව තිබුණි.

 

සිගිරිය පිළිබද මා සිතේ පහත ප්‍රශ්න පැන නැගුණි.

1.    සිගිරි මාලිගාව තැනීමට කාශ්‍යප රජු ගල තරණය කලේ කෙසේද?

2.    එතරම් සුවිසල් මාළිගාවක් තැනීමට ඇවසි ද්‍රව්‍ය රැගෙන සේවකයන් ලගාවුයේ කෙසේද?

3.    ලොව පරසිදු සිගිරි බිතුසිතුවම් ඇති කොටස් වලට එම කාලයේ ලගවුයේ කෙසේද?

4.    කැටපත් පවුර මෙන් ආරක්‍ෂිත පටු මාර්ග කොටස් තව තිබුනේද?

5.    සිංහ පාදය ප්‍රදාන ඇතුළු වීමේ දොරටුව නම් ඉන් පසු ගල මතට පිවිසීමේ මග කුමක්ද?

6.    පෙර රජ දවස සිගිරිය ගල සහ එහි අවට පරිසරය කෙලස තිබෙන්නට ඇතිද?

7.    පසේ මෙතරම් ගැඹුරකට නටඹුන්  කොටස් යටවුයේ කෙලෙසද? 

 

සීගිරි ඉතිහාසය

 

          පාසල් අවදියේ මෙන්ම පතපොත ඇසුරෙන්ද ඔබ උගත් සීගිරිය හා සබැදි  තොරතුරු , අද අන්තර්ජාලයෙන් විවිධ මානයන් ඇසුරෙන් කියවිය හැකිය. එම නිසා ඒ සම්බන්දයෙන් කිසිවක් මෙහි නැවත සදහන් කිරීම අනවශ්‍යයයි හැගේ. මගේ මුලික අවධානය යොමු වන්නේ සීගිරි ගල සම්බන්දවය. දැනට දක්වා ඇති පුරාවිද්‍යා තොරතුරු වලට අනුව සීගිරිය ගල අවටින් ක්‍රිස්තු පුර්ව පළමු සියවසට අයත් සාධක ද ලැබී ඇති බවත් ඒවා බොහොමයක් පන්සල් / ආශ්‍රම ආශ්‍රිත සාධක බවත් සදහන් වේ.

          විදේශීය ද්‍රවිඩ ආක්‍රමණයන් අනුරාධපුර රාජධානිය විටින්විට ග්‍රහණයට ගැනීම රටේ ජන ජීවිතය අස්ථාවර කිරීමට හේතුවිය. ක්‍රිස්තු පුර්ව 250 දී පමණ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මිහිදු මාහිමියන් වැඩීමෙන් ලංකාවේ බුදුසසුණ ආරම්භ වීම සමග රට පුරා වෙහෙර විහාරස්ථාන ඉදිවිය. රජ්‍ය පාලනයේ ප්‍රමුඛ ස්ථානයක් බුදුසසුණට හිමිවීම නිසා ආක්‍රමිකයන් ගේ ප්‍රධාන ඉලක්කයක් ලෙස වෙහෙර විහාරස්ථාන සැමවිටම බදුන්විය. ද්‍රවිඩ ආක්‍රමිකයන් සැම දෙනාම ශිව භක්තිකයන් වීම වෙහෙර විහාරස්ථාන වැනසීමට තවත් හේතුවක් විය. මේ නිසා ද්‍රවිඩ ආක්‍රමනයක් වන සෑම අවස්ථාවකම  බුදුසසුණ ආරක්ෂා කරගැනීමේ අරමුණින්  විහාරවාසී භික්ෂුන් වහන්සේ දහම් පුස්තක සහ විහාරය සතු ධාතුන් වහන්සේ සහිත වටිනා පූජා භාණ්ඩ රැගෙන වනගතවීම නිරන්තරයෙන් සිදුවිය. ඝන වනාන්තරයේ ස්වභාවික ගල් ලෙන් බොහෝවිට මෙම වනගත භික්ෂුන් වහන්සේගේ ආරාමයන් බවට පත්විය.

          වළගම්බාහු රජතුමා පළමුවෙන් රජකම ලබාගන්නේ ක්‍රිස්තු පුර්ව 104 දිය. රජවී වසරක් ගතවීමට ප්‍රථම දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණයක් නිසා රජකම අත්හැර පලායාමට එතුමාට සිදුවේ. පිළිවලින් පුලහත්ථ, බාගිය, පනයමාර, පිළියමාර, දායික යන පංච ද්‍රවිඩයන් පුරා වසර 14ක් තිස්සේ පන්සල් වෙහෙර විහාර විනාශ කරමින් දේපල වස්තු කොල්ලකෑහ. භික්ෂුන් වහන්සේ බුදුසසුණ ආරක්ෂා කරගැනීමේ අරමුණින් සුපුරුදු ලෙස වනගත වන්නට ඇත. මේ වනවිට සීගිරිය හා පිදුරංගල මහ වනයෙන් වැසීගත් සාමාන්‍ය කදු වැටියක් ලෙස පවතිනට ඇත. සීගිරිය මතුපිට ගල් තැනිතලාවක් සහ කන්දේ සමහර පැතිබෑවුම්  ස්ථාන වලින් ගල එලියට නෙරා විත් ගුහා සැදී තිබෙන්නෙට ඇත. සාමාන්‍යයෙන් පවතින කදු ගැටයක් ලෙස අද පවතින සීගිරිය ගල දෙපස පසෙන් වැසී මහා වනයක් පවතිනට ඇත. සාමාන්‍ය කන්දක් නගිනා ආකාරයට කදු මුදුනේ වූ ගල්තලාවට පහසුවෙන් පිවිසීමේ හැකියාව තිබෙන්නට ඇත. මුදුනේ සිට බැලූ විට සතර වටේම හොදින් දර්ශනය වනබැවින් සතුරන් ගෙන් ආරක්‍ෂාවීමටත් යම් දිශාවකින් පැමිණන විට අනෙක් පසින් බැස වනය තුල සැගවිමටත් පහසු වීම නිසා වනගත භික්ෂුන් මෙම ස්ථානය මෙන්ම ආසන්නයේ පිහිටි පිදුරංගල කදුගැටය ද මෙලෙසම භික්ෂු ආශ්‍රම ලෙස මෙම කාලයේ පවත්වාගෙන යන්නට ඇත.  වසර 14කට පසු  වළගම්බාහු රජතුමා දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයින් පළවාහැර රට යථාතත්වයට පත්කිරීම නිසා වනගත වූ  භික්ෂුන් නැවත නාගරික සහ ග්‍රාමීය ජනාවාස වල පිහිටි විහාරස්ථාන වලට වැඩම කරන්නට ඇත.  මෙම සිදුවීම ක්‍රිස්තු පුර්ව පළමු සියවසේ සිදුවීම නිසා ඉන් පසු කාශ්‍යප රජ සමය තෙක් නටඹුන්  ශේෂ සිගිරිය අවටින් හමු නොවීම පැහැදිළි කලහැක.  

          ඉන්පසු වැදගත් කාල වකවානුව වන්නේ  ෂඩ් ද්‍රවිඩ පාලන සමය ලෙස හදුන්වන පාණ්ඩ්‍ය (ද්‍රවිඩ) ආක්‍රමණිකයින් ක්‍රිස්තු වර්ෂ 0436  සිට 0463 දක්වා වසර 27ක් පුරාවට අනුරාධපුර මුල්කොට ගෙනගිය පාලනයයි. මෙම පාලනය අවසන් කිරීමට ධාතුසේන රජතුමාට හැකිවූ අතර එතුමා ක්‍රිස්තු වර්ෂ 0463 සිට 0479 දක්වා වූ වර්ෂ 16ක් රට පාලනය කළේය. ධාතුසේන රජතුමාගේ බොහෝ ක්‍රියාකාරකම් අනුරාධපුරයට දකුණු දෙසින් වූ කලාවැව, අවුකන, රැස්වෙහෙර, දඹුල්ල වැනි ප්‍රදේශ වල දැකිය හැකිය.  ඊළග රාජ්‍ය උරුමක්කාරයා පිළිබද ප්‍රශ්නයක් මත ධාතුසේන රජතුමාගේ සුළු බිසවකගේ පුතෙකු වූ කාශ්‍යප කුමාරයා විසින් ධාතුසේන රජතුමා මරා රජකම පැහැර ගන්නා ලදී. රජ කිරුළේ නියම හිමිකරු වූ මුගලන් කුමරු ජීවිත ආරක්‍ෂාව පතා ඉන්දියාවට පලාගොස් එහි සිට සේනා සංවිධානය කරමින් අර්ධ සහෝදරයා වූ කාශ්‍යප රජුට එරෙහිව කටයුතු කළේය. මේ නිසා කාශ්‍යප රජු වඩාත් ආරක්‍ෂක ස්ථානයක් සෙවූ අතර පිදුරංගල ආසන්නයේ ඝණ කැලය සහිත ඊට වඩා උසින්, මුදුන ගල්තලාවක් වූ කදුගැටය තෝරා ගෙන තිබුණි. මේ වනවිට එම කදුගැටය වටා අතහැර දැමු ලෙන් ගුහා කීපයක් තිබුණි. කදු මුදුනේ මාළිගාව තැනු අතර මාළිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව සිංහ මුහුණකින් අලංකාර කරනා ලදී. කන්ද වටා මාළිගාවට පිවිසුම් මාර්ග සකස්කළ අතර වන ශාක එලෙසම තබන්නට ඇත. පිවිසුම් මාර්ගයේ පටු අනතුරු දායකස්ථාන ආරක්‍ෂක බැමි සහ තාප්ප යොදා සංරක්ෂණය කර තබන්නට ඇත. කදු පාමුල තැනිතලාව දර්ශනීය උයනක් බවට පත්කළ අතර කන්දෙන් හටගන්නා දිය කදුරු අලංකාර ලෙස සකස්කර ඇත. මීට අමතරව ජලමල් සහ ජල පොකුණු ආදියෙන් අලංකාර විය. මෙම උයන වටා ආරක්‍ෂක දිය අඟලකි. අනුරාධපුර දිසාවෙන් පැමිනෙන්නකු දුර සිට බැලුවිට පෙනෙන්නට ඇත්තේ තැනිතලා උයනට මදක් ඉහළින් පෙනෙනා සිංහ රුව සහ  වනයට ඉහළින් කදු මුදුනේ ඇති රජ මාළිගාවයි.

          මුගලන් කුමරා යම් පමණක සේනාවක් ඉන්දියාවෙන් මෙරට එවූබව ද, දේශීයව ඔහුගේ අනුගාමිකයන් හරහා සංවිධානය කල මහා සේනාවක් පහරදීමට සුදානම් වනබව ඔත්තුකරුවන් මගින් දැනගත් කාශ්‍යප රජු කන්ද වටා පිහිටි කැලය කපා ඉවත්කරන්නට අණකරන්නට  ඇත. මෙලෙස කැලය කපා ඉවත්කිරීම මගින්,  කැලයට ගිනි තැබීමෙන් රජ මාළිගයට වන හානිය සහ හොර රහසේ ඔත්තුකරුවන් සැගවී ඇතුළුවීමට ඇති හැකියාව නැති කිරීම අරමුණ වන්නට ඇත. කෙසේ නමුත් ක්‍රිස්තුවර්ෂ 497 දී මුගලන් කුමරු කාශ්‍යප රජු මරා රජකම ලබා ගත්තේය.

          මුගලන් රජ කාශ්‍යප රජුගේ සීගිරි රජමාලිගය විනාශකර දැමු බව ඉතිහාසයේ කිසිම තැනක සදහන්  නොවේ. එසේ නම් සීගිරි රජමාලිගය පරිහාණියට පත් වූයේ කෙසේද?

 

          ඉහත මා සදහන් කල පරිදි මුගලන් කුමරුගේ ප්‍රහාරයන්ට මුහුණදීම සදහා ස්වභාවික වනයෙන් වැසී පැවති සීගිරි  කදුගැටය එළිපෙහෙළි කිරීම නිසා මෙම සියළු ව්‍යසනයන් සිදුවූ බව මාගේ අදහසයි. මේ නිසා අද පවතින සීගිරි ගල වටා ස්වභාවික පස් කන්දක් පැවත ඇතිබවත්, ඒ මගින් කදු මුදුනට සහ චිත්‍ර සහිත ලෙන් (ගුහා) වලට පහසුවෙන් ලගාවිමේ මාර්ග තිබී ඇති බවත් සමහර අවධානම් ස්ථාන වල බැමි තිබෙන්නට ඇත. කැටපත් පවුර ලෙස දැනට ඉතිරිව ඇත්තේ එවැනි කොටසක් බව මාගේ විශ්වාසයයි.   

 

          ලෝකයේ පවතින බොහෝ කඳු අභ්‍යන්තරයන් මෙලෙස ඝණ පාෂණයන් ගෙන් (ගලෙන්) යුතුය එය වටා පාෂණ ජිරණයෙන් ඇතිවන පස් ඇතිවී ස්වභාවිකව පස මත ශාක වැඩේ. මෙම ශාක වල මුල් ජලය සොයා පාෂණ කුහර, පැලුම් සහ කඩතොළු තුලට  වර්ධනයෙන්  ගලට තදින් සවිවේ. මෙම ස්වභාවික ශාක මගින් ගල මතුපිට ඇති පස් සෝදා යාමට නොදී ආරක්‍ෂකයන් වශයෙන් ක්‍රියාත්මක වේ.  ගස් කැපීමෙන් ටික දිනකින් මුල් මැරී දිරාපත්වීම නිසා මෙම බැදීම් කැඩී බිදී යයි. වර්ෂාවෙන් වැටෙනා වැසි ජලය පස තුලින් කාන්දු වී ගලේ මතුපිට නතරවේ. මෙලෙස එකතුවන ජලය ගල තුලට ගමන් කිරීමට නොහැකි නිසා ගල මතුපිටින් පහත් ස්ථාන කරා ගමන් කිරීමේදී ගල සමග ස්පර්ශව ඇති පස් බුරුල්වී රූටා යයි. අද අප නායයාම් ලෙස හදුන්වන්නේ ද මෙවැනි සිදුවීම්ය. වර්ෂයකට මිලිමීටර 1500 පමණ වර්ෂාපතනයක් සීගිරිය ප්‍රදේශයට ලැබේ. වැසී කාලයේ දිනකට මිලිමීටර 200 ඉක්මවන අවස්ථා ද ඇත. මේ නිසා කාශ්‍යප රජු ආරක්ෂාව වෙනුවෙන් කල ගස් කැපීම සීගිරියේ ව්‍යසනයට මුල්වී ඇති බව මාගේ විශ්වාසයයි.

          මේ නිසා සීගිරියේ දැනට මතුකරගෙන ඇති නටඹුන්  වලට වඩා වැඩි නටඹුන්  ප්‍රමාණයක් තවමත් පස යට පවතින බව මාගේ විශ්වාසයයි.

          යම් පර්යේෂකයකු සීගිරිගල අවට දැනට කිසිම කැණීමක් නොකරන ලද භූමියක අඩි 30 – 40 ක් පමණ ගැඹුරට හෝ මාතෘපාෂාණය තෙක් පාංශු ස්තර අධ්‍යයනය කරමින් එහි කාල නිර්ණය කරන්නේ නම් මාගේ තර්කය ස්ථිර වන බව විශ්වාසයෙන් කිවහැක.

සීගිරියේ ඔබ නොදකින මට පෙනෙනා චිත්‍රය මෙලෙස සිතුවම් කර තබමි.

 

( තොරතුරු හා ජයාරූප : අන්තර්ජාලය වෙබ් අඩවි තුලින් )

 

 

 

අන්තර්ජාලයේ පවතින සීගිරියේ 1890 වර්ෂයේ  (සංරක්‍ෂණයට පෙර) ඡායාරූප

 

 

 

 


 

 

අන්තර්ජාලයේ පවතින සීගිරියේ වර්තමානයේ (සංරක්‍ෂණයෙන් පසු) ඡායාරූප

 

  1898 දී ඒච්.සී.පී.බෙල් මහතා

   

SRI LANKA’S SIGIRIYA: CAUGHT BETWEEN A ROCK AND A VERY HIGH PLACE                Archology Travel site - Posted by Thomas Dowson | Travel Reports | 0

https://whc.unesco.org/en/list/202/  Ancient City of Sigiriya