ප්‍රථම කොටස
සංස්කෘතිය බොහෝ විට කාලය සමග වෙනස් වෙයි. මේ නිසා අතීත වී වගාව සමග බැදුණු අපේ සංස්කෘතිය අද වන විට ද වෙනසකට බදුන්වී ඇති බැවින්, එය මා ඉගෙනගත්, කියවූ සහ ලැබූ කේෂ්ත්‍ර අත්දැකීම් මත දන්නා පරිධි මෙසේ සටහන් කර තැබීම හෙට පරපුරට වැදගත් වේ යයි සිතමි. මේ සම්බන්දව ඔබගේ අදහස් මෙය තවදුරටත් පෝෂණය කරනු ඇත.
වී වගාවේ ඉතිහාසය සහ සමාජආර්ථික
සම්බන්ධතා
ශ්‍රී ලංකාවේ වී වගාවේ
ඉතිහාසය පුරාවිද්‍යාත්මකව තහවුරු කර නොමැත. නමුත් වෙනත් සාධක - මැටි බදුන්
රුප කොටස්, වී වල් දර්ශක බිජ හමුවීම් -
නිසා අදින් වසර 3500 – 4000 ඈතට දිවයන බව සටහන් වල දැක්වේ. ආහාර ලෙස වී සකස් කර
ගත්තේ කිනම් කාලයක දී ද යන්න තහවුරු නොවුනත් ක්‍රිස්‌තු පුර්ව 600 දී විජය කුමරු ලංකාවට ගොඩබැස ආහාර ලෙස බත් පිසුබව සදහන් වේ. ඒ
වන විටත් ලංකාවේ දියුණු ජන සමාජයක් වූ බව කුවේණිය රෙදිපිළි සැකසීම සදහා කපු
කටිමින් සිටීමෙන් පැහැදිලිවේ.
ලංකාවේ ප්‍රථම වැව - අභය වැව, අදින් වසර 2420 පමණ පෙර ( ක්‍රිස්තු පුර්ව 400 දී) පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුරයේ වී වගාවට ජලය
සැපයීම සදහා තනනා ලදී.
ඉහත සියල්ලම සදහන් කලේ
ලංකාවේ වි වගාවේ පැරණි බව පෙන්වා දීම සදහාය. බත් අපගේ ප්‍රධාන ආහාරය ලෙස පැවතියත් එළවලු
(ව්‍යංජන) මාළු මස් සමග ආහාරයට ගැනීම සිදු වී ඇත. පළතුරු බොහෝවිට අතුරුපසක් ලෙස ආහාරයට
එක් විය. පැරණි ලංකාවේ (1950 ට පෙර) තෙත් කලාපයේ බොහෝදෙනා තුන් වේල සදහාම බත් ආහාරයට ගත්තත් වියළි කලාපයේ
උදෑසන ආහාරය සදහා ඉරිගු, කුරහන්, ධාන්‍ය, මාෂබෝග සහ අල වර්ග ආහාරයට ගැනීම සිරිත
විය. වියලි කලාපයේ මහා කන්නයේ වර්ෂාව ආරම්භයේ ගොඩ බෝග වගාව (හේන් වගාව) පළමුව
සිදුවන අතර වී වගාව වැව් වල ජලය එකතුවීමෙන් පසු සිදුකරයි. වී වගාව ජලජ පරිසරයක - කුඹුරු
වගාව (මඩ ගොවිතැන) ලෙස ද, වියළි තත්ව යටතේ
ගොඩ වී - හේන් වී ලෙස ද පෙර කල වී වගා කරනා ලදී. අද වන විට ගොඩ වී වගාව (හේන් වී ) ලංකාවෙන්
තුරන්වී ඇත. බොහෝ දෙනා කැකුළං වී වගාව, ගොඩ වී වගාව ලෙස වරදවා වටහා ගනී. කැකුළං වී
වගාවේ දී වියලි වී බිජ, පස වියලි තත්වයේ ඇතිවිට පසට යොදා වර්ෂා ජලය ලියදි වලට රැස්වී
මඩ කුඹුරක ආකාරයට ඉදිරි කටයුතු සිදුවේ. ගොඩ වී වගාවේදී ජලය රැස්කර තබාගන්නා ලියදි
නොසාදන අතර අනෙකුත් ගොඩ බෝගයන්ට හිතකර නොවෙන, පසේ තෙතමනය රදාපවතින හේනේ කොටස් වල අනෙකුත්
ගොඩ බෝග මෙන් වී බිජ යොදනු ලබයි. මේ සදහා නියගයට ඔරොත්තු දෙන පැරණි දේශීය වී වර්ග
බොහෝවිට යොදාගන්නා ලදී. සමහර වී වර්ග වගා කිරීමෙන්
පසු අස්වනු නෙලීමට මාස 06 ක පමණ කාලයක් ගතවේ.
අතීතයේ
කුඹුරු වගාව ක්‍රියාදාමයන් රාශියකින් සමන්විත, සමහරවිට වසර පුරාවට විහිදුණු, තනි
පුද්ගලයෙකුට පමණක් සිදුකල නොහැකි සාමූහික ක්‍රියාවකි. මේ නිසා අද මෙන් නොව මුළු කුඹුරුයාය එක විට වගා
කිරීම සදහා සියලුම ගොවින් එකතුවීමෙන් සාමුහික කථිකාවක් පවත්වනු ලබයි. මේ සදහා විශේෂ
හේතු කීපයක්ම තිබුණි. පෙර රජ දවස සියලුම ඉඩම් රජු සතුවිය. එක් එක් පුද්ගලයාට වගා කිරීම
සදහා පමණක් ඉඩම් ලබාදී තිබු අතර බිම් පංගුව ( වගාකිරීම වෙනුවෙන් රජුට ගෙවියයුතු කොටස)
භාණ්ඩාගාරය වෙත ලබාදිය යුතුය. මෙම රැස් කිරීම් අදාල ප්‍රදේශ වල ප්‍රාදේශීය
නායකයින්, ගම මුලාදෑනින් මගින් සිදුවිය. වගා කටයුතු පිළිබද තීන්දු තීරණ ගැනීම ද ඔවුන්ගේ
මුලිකත්වයෙන් සිදුවිය. මේ ලෙස සියලු දෙනාම එකතුවී වගා කටයුතු ආරම්භ කිරීම වැපිරීමේ
මංගල්‍යය හෙවත් වප් මගුල ලෙස ඒ දවස හැදින්විය. පවුලේ යැපිම මුලික කරගත්
නිෂ්පාදනයක් පමණක් අරමුණු කරගෙන මෙම වගා කටයුතු එකිනෙකාගේ සහයෝගයෙන් පොදු කාර්යයක්
ලෙස සිදුවිය. මෙලෙස එසේ කිරීමට එම කාලයේ කුඹුරු සැකැස්ම ද බලපෑම් සිදු කළේය. මෑතක්
(වර්ෂ 1970 ) පමණ වනවිටත් ග්‍රාමීය වැව් යටතේ සොරොව්වෙන් නිකුත්කරනා ජලය කුඹුරු
මතින් කුඹුරෙන කුඹුරට අවසානය දක්වා ගලා යයි. අද මෙන් එක් එක් කුඹුරට වෙනවෙනම ඇල
මගින් ජලය ගත නොහැක. මුල කුඹුරට ඇතුළුවන ජලය අවසාන කුඹුර දක්වා කුඹුරෙන් කුඹුරට
ජලය සපයනු ලබයි. මේ නිසා අවසාන කුඹුරට ප්‍රමාණවත් ලෙස ජලය ලගාවනතෙක් සී සෑමේ
කටයුතු ආරම්බ නොකළ අතර පහල කෙළවර සිට ඉහලට යායේ
වගා කටයුතු සිදුකරනා රටාවක් විය. මේ නිසා සැමවිටම එකිනෙකා අතර සහයෝගය,
අනෙකා පිලිබඳ සොයා බැලීම මෙම වී වගා සංස්කෘතියේ අංගයක් විය. සියළුම කුඹුරු වල ජල සැපයුම (වතුර බැඳීම) සහ ජලය ඉවත් කිරීම (වතුර
කැපීම) යායේ ගොවි මහතුන් කිහිප දෙනෙකු පැමිණ සිදුකරනා අතර තමාගේ ලෙසම සෙසු ගොවිමහතුන්ගේ
කුඹුරු ආරක්ෂා කරදීමට පොදු සමාජීය වගකීමක් ලෙස සලකන ලදී.
කුඹුරු සිසැම මිහරකුන් (අම්බරුවන්) යොදා කරනා ලදී. සතුන්ගේත් මිනිසාගේත්
වෙහෙස මහන්සිය දුරු කිරීමට ශබ්දනගා කවි ගායනය (අඩහැරය ) මෙම වී සංස්කෘතියේ තවත්
අංගයක් විය. මේ නිසා සෑම ගොවිමහතෙකුම මි ගවයින් බාන් කීපයක්ම ඇතිදැඩි කිරීම කල අතර
මේ මගින් කුඹුරුට අවශ්‍ය පොහොර සහ පවුලට අවශ්‍ය අමතර පෝෂණය, පස්ගෝ-රස (කිරි,
දීකිරි, වෙඩරු, මෝරු, ගිතෙල් ) මගින් ගවයා විසින් ලබා දෙන ලදී. වී සංස්කෘතිය සමග යාවූ ගව පාලනය අද සමාජයේ දක්නට
නැත.
වන සතුන්ගෙන් වන හානිය වලකා වගාව ආරක්ෂා කිරීමට පැල් රැකීමද මෙලෙස සාමුහිකව් කණ්ඩායම් ලෙස සිදුකල අතර රාත්‍රියේ නිදිමත නැති
කිරීමට කවි කීමටත් තවකෙකු ඊට පිළිතුරු සැපයීම මගින් පැල්කවිය ජන සංස්කෘතියට
එක්විය. අද මෙය සම්පුර්ණයෙන්ම අපගේ සමාජයෙන් තුරන්වී ගොසිනි. අතීතයේ ජනවහරින් පැවති
මෙම ගායනා ඉතාමත් ස්වල්පයක් පමණක් අද ලිඛිතව සංරක්ෂණය වී දක්නට ඇත.
නුතනයේ බොහෝදෙනා වී වගාව පුරුෂ මුලික කාර්යයක් ලෙස
හැදින්වුවත් අතීතයේ වී වගාවේ ආරම්භයේ සිටම කාන්තාවට ද විශාල කාර්යය භාරයක් විය. බිම්
සැකසීම, වී වැපිරීම, ජල පාලනය ප්‍රධාන වශයෙන් පුරුෂ පක්ෂය මුලික කොට පැවතියත් වගා වැඩ
කටයුතු වල නිරතවන්නන් සදහා කලටවෙලාවට ආහාරපාන (ඇඹුල ), බතබුලත සැපයීමේ ප්‍රධාන
වගකීම කාන්තාවගේ කරමත විය. මෙයද කාන්තාවන් සියලු දෙන ඒකරාශී වී පොදු
කටයුත්තක් ලෙස සිදුකර එක වෙලාවක දී යාය වෙත රැගෙන යාම සිදුවිය. මෙම දර්ශනය වෙහෙස මහන්සිවී කුඹුරේ වැඩකරනා ගොවිමහතුන් අමන්දානන්දයට
පත්කිරීමට හේතු විය. ඒමෙන්ම බිජ වී පොලා, බොල් ඉවත් කර පිරිසිදු කිරිම, ජලයේ පෙගවීමට සකස් කිරීම, පෙගුනු බිජ යහන්ගත
කිරීම ( සෙවන සහිත වාතාශ්‍රය ඇති තැනක අතුරා තැබීම), කණු කැපුණු බිජ වැපිරීමට කුඹුරුට
යැවීමට සැකසීම ආදිය ගෙවිලියගේ ප්‍රධානත්වයෙන් සිදුවන කුඹුරෙන් බාහිරව සිදුවන වී වගාවේ
වැදගත් කටයුතුය.
පරම්පරාවෙන් පරම්පරාවට උරුමවූ පරිසරය / කාලගුණය පිලිබඳව
දැනුම වී වගාව ආරම්භයට ප්‍රථමයෙන් ඒ පිළිබඳ සමාජයේ සිටිනා ප්‍රවීනයන්, වැඩිහිටියන්
රැස්වි විමසා බැලීම එකල සිදුවිය. මෙහිදී පැවති කාලගුණ තත්ව සමාලෝචනය කර පාරම්පරික දැනුම
මත ඉදිරි කන්නය පිළිබඳ පුරෝකථනයන් (අනාවැකි කීම)සිදුකරනු ලබයි. මෙහිදී පරිසරයේ
ස්වභාවික සතුන්ගේ හැසිරීම, සුළං හමනා දිශාව, වලාකුළු ස්වභාවය සහ වර්ණය, අතීතයේ මේ
හා සමාන තත්වයන් පිළිබද මතකයන් වැනි සාධක සැලකිල්ලට ගනි. ඉදිරියේ බලාපොරොත්තු වන
වැසි තත්වයන් පිලිබඳ පුරෝකථනයන් සතුටුදායක නොමැති නම් ගමේ සැමදෙනාටම ආහාර
සුරක්ෂිතතාවය සහ සාධාරණයක් දෙන විසදුම් අපගේ වී වගා සංස්කෘතිය තුල එකල විය. මෙවැනි
අද්විතීය වගා ක්‍රමවේදයක් ලොව කිසිදු කෘෂි සංස්කෘතියක් තුල දැකිය නොහැක. අතීතයේ අස්වනු
අහිමිවීමේ (ජිවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව අහිමිවීමේ) අවධානම දරා ගැනීමේ අද්විතීය වගා
ක්‍රමවේදයන් දෙකක් භාවිතාකර ඇත. මෙලෙස
පොදුවේ ජන සමාජයෙන් සියලුම දෙනාට සාධාරණයක් ඉටුවණ වගා ක්‍රමවේදයන් පිළිබද ලොව
කිසිම වගා සංස්කෘතියක සදහන් වී නොමැත.
1. බාග බෙදුම ( Portion cultivation)
මෙම ක්‍රමය අතීතයේ වැව්
ගම්මාන වල ක්‍රියාත්මක විය. එකම ජිවනෝපාය වී ගොවිතැන බැවින් ගමේ සියලු පවුලකටම වගා
කිරීමට කුඹුරක් හිමිවිය. පෞද්ගලික බිම් අයිතිය නොවූ බැවින් අලුතින්
එකතුවන පවුල් සදහා ද බිම් ඉඩ ලබාදීම සිදුවිය. මේ නිසා පමණට වඩා එක් පවුලකට හිමි වන
ඉඩම කුඩා වනවිට වැවට එකතු වන ජලය ප්‍රමානවත් නම් පහලින් අලුත් කුඹුරු යායක් එක්
කරගැනී. නැතිනම එම වැවට සහ යායට පහලින් අලුත් වැවක් බදිනු ලබයි. මෙලෙස ගමේ සෑම පවුලකටම වගාවට ඉඩමක් ලබාදෙනු ලබයි.
ඉදිරි කන්නය පිලිබඳ කතිකාවේදී එවිට පවතින තත්ත්ව අනුව වැවට
ප්‍රමාණවත් ජලය නොලැබෙන්නේ නම් සියළු දෙනාම මුළු බිම් ප්‍රමාණයම වගාකිරීමට සුදානම්
වුවහොත් කිසිවෙකුටත් කිසිම අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වනු ඇත. එමෙනම අද මෙන් මුදල්
වලට බිජ වී එ දවස ලබාගත නොහැක. අස්වැන්නෙන්
හොදම කොටස ඊළඟ කන්නයේ බීජ සදහා තබාගනු ලබයි. මේ නිසා අවධානම් තත්ත්ව යටතේ වගාකර
වගා පාළු වුවහොත් ප්‍රධාන පාඩුව වනුයේ තමා සතුවූ වටිනාම බීජ වී සංචිතය විනාශවීමය. ඒ සදහා යෙදවූ ශ්‍රමය
සහ කාලය සාපේක්ෂව වටිනාකම අඩුය. අනෙක ඊට පසු කන්නයේ අස්වනු නෙලනා තෙක් (දළ වශයෙන් අවුරුදු
දෙකක් පමණ) පවුලේ යැපීම සදහා වී නොලැබීමය.
මේ නිසා වගා තීරණ ගැනීමේදී ඉදිරි කන්න පුරෝකථනය පිළිබඳ විශේෂඥ පාරම්පරික දැනුමට ප්‍රමුඛතත්වය
දෙන ලදී.
ඉදිරි කන්න පුරෝකථනය අනුව සාර්ථක වැසි බලාපොරොත්තුවක්
නොලබෙනම් ගමේ සියලු දෙනාටම යායේ සියලුම කුඹුරු වගාකිරීමට නොහැකි වේ. මේ නිසා ගමේ සැමටම සමානත්වය සහ සාධාරණත්වය යන
කරුණ මුලික කර, අතීතයේ ලද අත්දැකීම් පදනම් කර එම කාලයට ඔබින මෙම අති සාර්ථක ක්‍රමය
සකසා ගෙන ඇත. මෙහිදී වැව යටතේ ඇති කුඹුරු යාය, වැව් සොරොව්වේ සිට ජලය බැසයන දිශාව
අනුව කොටස් (අතීතයේ මෙය බාග ලෙස හැදින්විය) තුනකට බෙදනු ලැබේ. වැවට ආසන්නම කොටස
ඉහළ බාගය ලෙසත්, මැද කොටස මැද බාගය ලෙසත්,
අවසන් කොටස පහළ බාගය ලෙසත්
නම් කරනු ලැබිය. ගමේ
සියලුම පවුල් වලට ඉහළ බාගයෙන් බිම් කඩක් හිමිවූ අතර එවැනිම බිම් කඩක් මැද හා පහළ
බාග වලින්ද ගමේ සියළු පවුල් වලට ලබා දී තිබුණි.
මේ නිසා ඉතාමත් තද නියං තත්වයක් පුරෝකතනයන් කල වීටදී පමණක් කිසිදු
වගාවක් නොකිරීමට තීරණය කරනා අතර දුර්වල
වැසි ලක්ෂණ ඇති විටදී වැවට රැස් වන ජල ප්‍රමාණය අඩුවන බැවින් එවැනි තත්ව යටතේ
පළමුවෙන්ම යායේ ඉහළ බාගයේ කුඹුරු පමණක් වගාවට තීරණය කරනු ලබයි. මේ අනුව ගමේ සියලුම
පවුල් සදහා ඉහළ බාගයේ වගා බිමිකඩක් පවතින බැවින් කිසිවෙකුටත් අසාධාරණයක් නොවෙනා
අතර සියලුම පවුල් වල ආහාර සුරක්ෂිතතාවය තහවුරුවේ.
වගා කටයුතු කරගෙන යාමේදී
වැසි තත්වය පුරෝකතනදීට වඩා හොද තත්වයට පත්වුව හොත් වැවට ප්‍රමාණවත් ජලය රැස්වීම
අනුව මැද බාගය ද වගා කරනු ලබයි. මේ සදහා පෙර අත්දැකීම උපයෝගී කරගනු ලැබේ. මෙලෙස
වැසි තත්වය සහ වැවට ජලය ලැබීම අනුව කොටසින් කොටස වගා කිරීමට පියවර ගැනීමෙන් බිජ වී
අහිමි වීමේ දැඩි අවධානම බැහැර කිරීමට හැකි විය.
මෙම ක්‍රමය මගපාදා වැසි
තත්වය පුරෝකතනදීට වඩා නරක අතට පත්ව නියං තත්වය වැඩි වී වැවට ජලය පැමිණීම දුර්වල
වුවහොත් ඉහළ බාගයේ වගාව එම කන්නයේ අත්හැර දැමීමට සිදුවේ. මෙහිදී වැවේ ජල භාවිතය වගාවටම
පමණක් නොව ගේ දොර අවශ්‍යතා, සතා සිව්පාවාගේ සහ පරිසරයේ පැවැත්ම ගැනද සැලකිල්ල ගෙන
තීරණ ගනු ලැබේ. මේ බාග වගා ක්‍රමය මගින්
ගැමි ප්‍රජාවට වාසියක් අත්වේ. එම කන්නය සදහා බිජ වී භාවිතය සාමාන්‍ය කන්නයක
භාවිතයෙන් ඉතා සුළු කොටසකි (තුනෙන් එකක පමණ). වැඩි බිජ වී කොටසක් භාවිතා නොකොට
සුරක්ෂිතව ගොවිසා සතුව මේ නිසා තවදුරටත් පවතී. එසේ නොමැති වූවානම් සම්පුර්ණ බිම්
වගාකිරීමට ගොස් වැඩි අලාභයක් සිදුවේ. වගාව
අත්හැරීමේ තීරණය සමග වගා බිමට ගවයින්
ඇතුළු කිරීමට අවසර ලැබේ. මේ මගින් වියළි තත්ව යටතේ ආහාර අහේනියකට මුහුණ පා සිටිනා
සතුනට ප්‍රබෝධමත් ප්‍රනීත ආහාරයක් ලැබේ.
මෙම
බාග වගා ක්‍රමය සමාජයෙන් දුරස්වීමට ප්‍රධාන කරුණු දෙකක් මුල් විය. එතෙක් රජු සතු
වූ සියලු ඉඩම් අයිතිය පෘතුගීසි පාලන කලාප තුල ජනයාට පෞද්ගලික අයිතිය ලබාදී ඒ
වෙනුවට වාර්ෂක ඉඩම් බද්දක් අයකිරීම් මගින් ජනයා තුල එතෙක් පැවති පොදු ආකල්පය ඉවත්වී
පෞද්ගලිකත්වය ඉස්මතුවීමත්, මේ නිසා නව පවුල් එකතුවන විට ඉඩම් කැබැල්ල වෙනස්වීමට
නොහැකිවීමත්. ගමේ ජන ධාරිතාවයේ උපරිමය පසුකල විට මෙවැනි ස්වයං ආර්ථික සමාජ පද්ධතිය
වල කඩාවැටීම ස්වභාවිකව් සිදුවීමත්ය.
2.
බෙත්ම ක්‍රමය (Share Land cultivation)
මෙම ක්‍රමය බාග ක්‍රමයට පසුව
සමාජ සාධාරණත්වය උදෙසා ගැමි සමාජයෙන් බිහිවූ බවට සිතිය හැක. මෙහිදී කාලගුණ පෙරනිමිති එතරම් සතුටුදායක නොවේ නම් සහ වැවට
රැස්වන ජලයේ අඩුවීමක් ඇතිවිට මෙම ක්‍රමය අදටත් රජයේ පාලනය සහිත වාරි ව්‍යාපාර වල
ක්‍රියාත්මක කරනු ලබයි. රජයෙන් වාරි පද්ධති සංවර්ධනය කර ඉඩම් බෙදා දී ඇති ව්‍යාපාර
වල ගොවින් සතු වන්නේ ඉඩම් පරිහරණ බලය (භාවිතය) පමණි. මෙම ඉඩම් නම් කල අයට පැවරීම
හැර වෙනත් අයට විකිනීමට නොහැක. ව්‍යාපාරය විසින් ගනු ලබන වගා තීරණ වලට අනුගත විය
යුතුය.
අතීතයේ වැවේ ජලය, වැව
යටතේ ඇති සියලුම කුඹුරු වගාකිරීම ප්‍රමාණවත් නොවනා විට යාය පහළ භාගයේ ගොවින් ගේ කුඹුරු
එම කන්නයට පුරන් වීමට හැර (එම කන්නයේ වගා නොකර) එම ගොවින් වැව ආසන්න මුල් භාගයට පැමිණ
එහි ගොවියෙකුගේ කුඹුර තාවකාලිකව දෙකට බෙදාගෙන වගා කිරීම බෙත්ම ක්‍රමය නම් වේ. මෙය බාග
ක්‍රමයේම පසුකාලීන විකාශනයකි. මේ මගින් ද එක යායක ගොවින් අතර සමානතාවය සහ ආහාර සුරක්ෂිතව
තහවුරුවේ. මෙය ජලය හිඟ යල කන්නයේ බොහෝවිට ක්‍රියාත්මක වේ.
අද වනවිට පෞද්ගලික ඉඩම් හිමිකාරිත්වය
සහිත කුඩා වැව් මෙය ක්‍රියාත්මක නොවෙනා අතර රජයේ පාලනය සහිත වාරිමාර්ග ව්‍යපාර වල කන්නය
ආරම්බයට පෙර පවත්වනු ලබන ව්‍යාපාරය කමිටු රැස්වීම් වලදී ඊලග කන්නය පිළබඳ සාකච්චා
කරණු ලැබේ. විශේෂයෙන් ජල සුලබතාව සහ කාලගුණික තත්ත්ව පිළබඳ අදාල වාරි සහ කෘෂි
නිලධාරින් සහ අත්දැකීම සහිත ගොවිමහතුන්ගේ අවධානය යොමුකරනු ලැබේ.
පෙර කන්න රැස්වීමට කලින්
පවත්වනු ලබන ව්‍යාපාරය කමිටු රැස්වීමේ දී මෙම තත්වය සමාලෝචනය කර මුළු ව්‍යාපාරයටම ජලය
ප්‍රමාණවත් නොවන අවස්ථාවක බෙත්මකට ගොවිමහතුන් දැනුවත් කරනු ලැබේ. පෙර කන්න රැස්වීමේදී
මේ පිලිබඳ නිත්‍යානුකුලව ගොවිමහතුන්ට දැනුම් දෙන අතර කන්න රැස්වීමේ අවසන් තීරණය දින
වකවානු සහිතව ප්‍රසිද්ධියට පත්කරනු ලබයි. බොහෝවිට ඉඩම හිමි ගොවිමහතාට කැමති පහළ
ගොවිමහතෙකු කතාකර ගන්නා ලෙස දැනුම් ගෙන
අතර එසේ නොමැති විට නිලධාරින් විසින් තේරීම කරනු ලබයි. මෙය එම කන්නයට පමණක් සිමාවන
අතර පහළින් පැමිණෙන ගොවිමහතා භුමිය නිසිලෙස භාවිතාකර අස්වනු නෙලීමෙන් පසු ඉන්
ඉවත්විය යුතුය. අදටත් ක්‍රියාත්මක මෙම ක්‍රමය ලොව අන් තැනක දැකිය නොහැකි අතීත වගා
සංස්කෘතියේ දිගුවකි.
( ඊළග කොටස් වල දී වී
වගා සංස්කෘතිය තුල ඇති ‘කලා සහ
සෞන්දර්ය’ ක්ෂේත්‍රය, චාරිත්‍ර, ආහාර සංස්කෘති පිලිබඳ කරුණු ඉදිරිපත් කරමි. )