Wednesday, October 28, 2020

කළාවැව යෝධ ඇළ - නව දැක්මක්

 

මෙය අතීතයේ අපගේ මුතුන්මිත්තන් සතු වූ ඉතා උසස් තාක්ෂණික දැනුම නියමාකාරයෙන් මතුකර  දැක්වීම උදෙසා පලකරමි. ඔවුන් සතු වූ එම තාක්ෂණික දැනුම අදටත් වලංගු බවත් ඒවායේ පැවැත්ම අද දක්වා ක්‍රියාකාරී තත්වයේ පැවතිමේන් පෙන්නුම් කරයි. නමුත් අප සතුවූ එම තාක්ෂණික දැනුම (ගණනය කල ආකාරයන්,සැලසුම් කල ආකාර, මිනුම් සහ උපකරණ) ඉතිහාසයේ යම් කලෙක කිසිලෙසකින්වත් අද අපට සොයාගත නොහැකි ලෙස අපෙන් වසන්වී ඇත.

                   අපගේ ලිඛිත ඉතිහාසයට (මහා වංශයට) අනුව ප්‍රථම වැව ලෙස  ක්‍රිස්තු පුර්ව 437 – 367 (අදින් වසර 2457 – 2387 පෙර ) පණ්ඩුකාභය රජු විසින් අභය වැව (බසවක්කුලම) සැදවූ බව සදහන්වේ. ගොවිතැනට ජලය සැපයීමත් අනුරාධපුර නගර වාසීන්ට එදිනෙදා කටයුතු සදහා ජලය ලබා ගැනීමත් මුලික වන්නට ඇත. මෙය වර්තමාන වර්ගීකරණයට අනුව මධ්‍යම කාණ්ඩයේ වැවකි. මෙහි ජලය ඝන මීටර මිලියන 2.35 (අක්කර අඩි 1910) ගබඩා කළහැකි අතර එවිට හෙක්ටයාර 110ක් (අක්කර 265 ක් පමණ) ජල පැතිරීමක් පවති. ජලයේ ගැඹුර ( සොරොව්ව අසල) මීටර 3.25 (අඩි 15.5) පමණ වේ. අතීතයේ සිට අභය වැව වරින් වර ප්‍රතිසංස්කරණයන්ට භාජනය වී අදටත් හොද ක්‍රියාකාරීත්වයෙන් පවති.

          මෙය ලිඛිත ඉතිහාසයක් සහිත ප්‍රථම වැව වුවත් මීට ප්‍රථම අපේ මුතුන්මිත්තන් වැව් සාදා තිබෙන්නට ඇති අතර ඔවුන් සතුව තිබු එම තාක්‍ෂණය උපයෝගී කරගනිමින් රජ්‍ය අනුග්‍රාහකත්වය මත විශාල වාරි කර්මාන්තයක් වූ අභය වැව සෑදුවා වියහැක. මෙලෙස ඒ වන විටත් ඔවුනට විශ්වාසනීය තාක්‍ෂණය සහ අත්දැකීම් තිබු බැවින් මෙවන් විශාල වාරි කර්මාන්තයකට යොමුවන්නට ඇත.  එදා සිට අද දක්වා වලංගු වැවක් තැනීමේ මුලික සිද්ධාන්ත ඔවුන් යොදාගත් බව පැහැදිලිය. මෙහිදී මල්වතු ඔයේ ගලායන ජල ප්‍රමාණය පිලිබඳ තක්සේරුවක්, එම ජලය රදවා ගැනීමට සවිමත් වැව් බැම්මක්, නිම්නයේ වැව් බැම්ම තැනීමට සුදුසු ස්ථානයත්, වැව් බැම්ම තැනීමට සුදුසු මැටි අධික පස් පිලිබඳ දැනුම, වැවට පහලින් වී වගාකටයුතු වලට සුදුසු ඉඩම් පැවතීම, නගරයට ජනාවාස වලට ආසන්න වීම සහ එහි  ප්‍රමාණවත් ශ්‍රම බලකායක් පැවතීම ආදී කරුණු සලකා බලන්නට ඇත.  එමෙන්ම ජල කඳ රැදවූ පසු වැව තුල පැතිරීම, වැව් බැම්මේ උස, වැඩි ජලය පිටකිරීම (වාන සැදීම), සොරොව් සැදීම  යන තාක්ෂණික කරුණු ප්‍රගුණකර නොතිබුණි නම් මෙවැනි කර්මාන්තයක් ඒ දවස පටන් ගන්නේ නැත.

                 පණ්ඩුකාභය රජු ගේ රාජ්‍ය සමයෙන් වසර 60 කට පසු එනම් ක්‍රිස්තු පුර්ව 307 – 267 ( අදින් වසර 2327 – 2287 පෙර) දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලය තුල  තිසාවැව තැනවූ බව ඉතිහාසය දක්වයි. මෙම රාජ්‍ය කාලය තුල බෞද්ධ පුනරාගමනය සිදුවීම නිසා රජ්‍ය අනුග්‍රහය මත බුදුදහම පෙරට වඩා ලංකාව තුල ස්ථාපිත විය.      (බුදුරජාණන්වහන්සේ තුන්වරක් ලංකාවට වැඩමකිරිමත්, ජීවමාන බුදුරජාණන් වහන්සේ ගෙන් පිරිනැමුණු කේශ ධාතුන් නිදන්කර තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් හිරිගඩු සෑය පිහිටුවීම දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයට වසර 300 කට පමණ පෙර සිදුවී ඇත.) මේ නිසා දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයෙන් පටන් ගත් බෞද්ධාගමික සංස්කෘතිය අද දක්වා නොනැසී පවතී.

          ධාතුසේන රජතුමාගේ රාජ්‍ය කාලය වන්නේ ක්‍රිස්තු වර්ෂ 457 – 473 (එනම් අදින් වසර 1563 – 1547)කට පෙරය. එය තිසාවැව සාදා වසර 764 -780  කාලයකට පසුය.  මෙම කාලය වනවිට අනුරාධපුරය ජනාකීර්ණ අගනගරය විය. එවිට ජීවත් වූ එම ජනගහනයේ ගොවිතැන් කටයුතු සහ ගෘහස්ථ කටයුතු සදහා ඒ වනවිට පැවති තිසා වැව සහ අභය වැවේ සහ අනෙක් කුඩා වැව් ජලය ප්‍රමාණවත් නොවන්නට ඇත. මේ නිසා එවිට වනයෙන් යටවූ භුමියක් ලෙස පැවති යාබඳ ගංගා නිම්නය වූ කලාඔය නිම්නය තෝරා ගෙන ඇති අතර කළාවැව සාදන විට  එහි ගබඩා කල හැකි ප්‍රමාණයට වඩා විශාල ජල ප්‍රමාණයක් වර්ෂා කාලයේ ගලා එන බව නිරීක්ෂණය වන්නට ඇත. මේ නිසා ඒ වන විට ජල හිගයකට මුහුණ දී සිටින යාබඳ  ගංගා නිම්නය වූ මල්වතුඔය ඔය නිම්නයේ තිසාවැවට මෙම ජලය හැරවීමට කටයුතු කරන්නට ඇත.

          මෙහිදී අප පුදුමයට පත්විය යුතු කරුණ වන්නේ කළාවැව සිට කිලෝමීටර් 86.9  (සැතපුම් 54) දුරින් පිහිට තිසාවැවට ජලය  ගෙනයාහැකි බවට තීරණය කිරීමට හේතුවූ සාධක සොයාගත් තාක්ෂණික ක්‍රමවේදයයි.  සාමාන්‍යයෙන් පියවි ඇසට පෙනෙනා දුරකින් මෙම වැව් දෙක පිහිටියේ නම් දෘෂ්ටිය අනුව තීරණයක් ගත හැක. නමුත් මෙතරම් දුරකින් පිහිටි වැව් දෙකක් යා කිරීමට සැලසුම් කරනා විට එම කාලයේ ඉතා දියුණු භූ මිනුම් තාක්ෂණයක් (Land survey technics)  අප සතුව තිබෙන්නට ඇත. එමෙන්ම දියුණු ජල විද්‍යා තාක්‍ෂණය ද අප සතුවූ නිසා තිසාවැවට සැපයීමට බලාපොරොත්තු වන ජල ප්‍රමාණයත්, මෙතරම් දුරක් රැගෙන යාමේදී ඇතිවන හානිවීම් සමග කොපමණ කළාවැවෙන් ජලය නිදහස් කල යුතුද, වර්ෂා කාලයේ අතිරික්ත්ය සපයන්නේ නම් (කළාවැව යටතේ වගාවට ප්‍රමාණවත් ජලය හැර) සෑදිය යුතු ඇලේ ප්‍රමාණය කෙතරම්ද යන්න ගණනය කරන්නට ඇත.

          මෙහිදී වැව් සම්බන්දව මෙම ගණනය කිරීම් වැඩිදෙනාට හුරුපුරුදු ම්නුම් වන සැතපුම් සහ අඩි වලින් දක්වා ඇත.  

          වැව් වල පිහිටීම (වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව)

       කළාවැව සොරොව් පතුල් මට්ටම               =   423.9 අඩි මුහුදු මට්ටමේ සිට

          තිසාවැවේ සොරොව් පතුල් මට්ටම          =   300.2 අඩි මුහුදු මට්ටමේ සිට

කළාවැව - තිසාවැව පිහිටීමේ වෙනස                =   123.7 අඩි

                   (තිසාවැව කළාවැවට වඩා  අඩි 123.7 පහලින් පිහිටා ඇත)

 කළාවැව - තිසාවැව අතර දුර  සැතපුම් 54කි. ( අඩි වලින් නම් 285120කි.)

එම නිසා 123.7 අඩි / 285120 අඩි     බෑවුම ලැබෙන්නේ 0.000434 අඩියකට අඩි ලෙස,   මෙය අඩි 100 කට බැස්ම අඟල් බවට පත්කළ විට අඩි 100 ට  අඟල් 0.5 කි. සැතපුමකට බැස්ම අගල් 27.5කව  ඇත. මෙය ඉතාමත් සුළු බැස්මකි, උපකරණ මගින් මිනුම් කිරීමකින් හැර හදුනාගත නොහැකි බෑවුමකි. ඇළක බෑවුම අධික වන විට ජලය ගලන වේගය වැඩිවී ඇළ පතුල හැරීමකට ලක්වේ. නමුත් යෝධ ඇළේ පවතින මෙම බැස්ම මගින් ඇති කරනා ජල ගලනා වේගය එලෙස පස හැරීමකට ලක් නොකරයි.  ජන වහරේ පවතින යෝධ ඇළේ බැස්ම සැතපුමක අඟල ලෙස දක්වන්නේ එය ඉතා කුඩා අගයක් බව පෙන්විමටය. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට සමතල මතුපිටක ජලය ගලායාමක් සිදුනොවනා බව වැටහෙනු ඇත.  

  යෝධ ඇළ කළාවැවේ සිට තිසාවැවට පමණක් සෘජු සම්බන්ධයක් ඇති නිර්මිතයක් නොවේ. මෙය මෙම සැතපුම් 54 තුල පරිසර පද්ධති පෝෂණය කරමින් කුඩා වැව් රාශියක් සමඟ බද්ධ වෙමින් එම පරිසර පෝෂණය සහ නඩත්තු කරනා සංකීර්ණ ක්‍රියාදාමයක් සහිත පද්ධතියකි.

නව ජයගග කැපීම සහ පැරණි යෝධ ඇළ සම්බන්ධ කතා රාශියක් අන්තර්ජාලයේ ඇත. ඒ මගින් ද පෙන්වා දෙන්නේ  අදින් වසර 1563 – 1547කට පෙර අපේ මුතුන් මිත්තන් සතුවූ අපට මේ දක්වා සොයා ගැනීමට නොහැකිවුත් ඒ තාක්ෂණික ඥානයයි.

පැරණි යෝධ ඇළ සම්බන්ධව අන්තර් ජාලයේ බොහෝදෙනා ලිපි, සම්මන්ත්‍රණ,  වීඩියෝ ප්‍රචාරණය කරණු ලබයි. මා සිදුකල ගණනය වැනි සොයා බැලීමක් / මතයක් මින් පෙර සිදුකර නොමැත. එම විද්වතුන් මේ සම්බන්දව ඔවුන්ගේ මතය දක්වන්නේ නම් පාඨකයාට ප්‍රයෝජනවත් වනු ඇත.

 

රංජිත් 28/10/2020